Monday, April 21, 2025
Home » ලීග් ශූර සාන්ත පීතර ක්‍රීඩකයෝ ජනාධිපති කුසලානයත් දිනති

ලීග් ශූර සාන්ත පීතර ක්‍රීඩකයෝ ජනාධිපති කුසලානයත් දිනති

by sachintha
September 12, 2023 7:07 am 0 comment

ඩයලොග් ආසියාටා සමාගමේ සන්නාම හා මාධ්‍ය, සමූහ අලෙවි උප සභාපති හර්ෂ සමරනායක සහ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති කමල් ආරියසිංහ මහත්වරු අතින් සාන්ත පීතර විදුහල් පිලේ නායක අෂේන් මඩුගස්පේ ඩයලොග් පාසල් රග්බි පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව ලබා ගනිමින්. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ භාණ්ඩාගාරික දමිත පෙරේරා, ලේකම් නිරෝධ විජේරාම, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අමල් එදිරිසූරිය සහ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග මහත්වරු ද මෙහි වෙති.

සැලසුම් සහගත ක්‍රීඩා විලාශයක නිරත වූ සාන්ත පීතර විදුහල් පිල ප්‍රබල ඉසිපතන විදුහල් පිල ලකුණු 25-16කින් පරාජය කරමින් අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පිළිමලුන් පිටුදැකීමේ ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනමන ජනාධීපති කුසලානය අත්කර ගැනීමට සමත් විය.

සුගතදාස ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති අවසන් මහා තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 19-8කින් පෙරමුණ ගත් සාන්ත පීතර විදුහල් පිලේ ක්‍රීඩකයෝ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් වාර්තා කරද්දී ඉසිපතන විදුහල් පිලට රැස් කිරීමට හැකි වූයේ උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් පමණි. පසුගියදා පැවැති ලීග් තරගාවලියේ ශූරතාවට ද හිමිකම් කියන සාන්ත පීතර විදුහල් පිල සුදේශ් ජයවික්‍රම තැබූ අනගි උත්සාහක දිනුමක් යුමිත් සිහාර විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු 7-0ක් ලෙස සාර්ථක ආරම්භයක් ගත් අතර, පළමු භාගය නිමා වීමට පෙර දුලාජ් නවෝද්‍ය සහ පසිඳු තක්ෂිල තැබූ තවත් උත්සාහක දිනුම් දෙකකින් තරගයේ පාලනය සියතට ගත්තේය. ඉන් එක් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කිරීමට සිහාර සමත් විය. පළමු භාගය නිමා වන විට ඉසිපතන විදුහල් පිලට රැස් කිරීමට හැකි වූයේ දඬුවම් පහරක් සහ නායක නවීන් කණිෂ්ක තැබූ උත්සාහක දිනුම පමණි. දෙවැනි භාගයේදී රිනේෂ් සිල්වාගේ සාර්ථක දඬුවම් පහරකින් ඉසිපතන විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගියද, සිහාර සාර්ථක කරගත් දඬුවම් පහරකින් සාන්ත පීතර විදුහල් පිලේ ලකුණු පුවරුව 22 ක් බවට පත් විය. දෙවැනි භාගයේදී ඉසිපතන විදුහල් පිලේ ක්‍රීඩකයන් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරතවෙමින් ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කළ අතර, සෙනුත් සේනාරත්න තැබූ උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉහළ දැමුවේය. එහෙත් සාන්ත පීතර විදුහල් පිල එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන් අතර, අවසන් මිනිත්තු කිහිපයේදී සිහාර සිය දෙවැනි දඬුවම් පහරත් සාර්ථක කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT