Wednesday, April 23, 2025
Home » කපු රෙදි-බොත්තම් මුවාවෙන් ගෙනා කන්ටේනරයේ කෝටි 11ක රට සිගරට් – කොළඹ වරායේ දී රේගු වෙන් අල්ලයි

කපු රෙදි-බොත්තම් මුවාවෙන් ගෙනා කන්ටේනරයේ කෝටි 11ක රට සිගරට් – කොළඹ වරායේ දී රේගු වෙන් අල්ලයි

by sachintha
September 12, 2023 5:36 am 0 comment

රුපියල් කෝටි එකොළහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි හතළිස් පන් ලක්ෂයක් රේගුවට ප්‍රකාශ නොකර, නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට බහාලුමක් තුළ බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදී ශ්‍රී ලංකා රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 11වන දින පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් , ග්‍රේ ලයින් බහාලුම් අංගයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. ඉන්දියාවේ රේගු බුද්ධි අංශය විසින් ශ්‍රී ලංකාවේ රේගු බුද්ධි අංශයේ නිලධාරීන් වෙත ලබා දුන් තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර මෙම බහාලුම ඉකුත් 7 දින ඉන්දියාවේ කට්ටුපල්ල වරායේ සිට කොළඹ වරායට පැමිණ තිබුණි. වත්තල ප්‍රදේශයේ ආනයනකරුවෙකු විසින් “100% කපු රෙදි සහ ප්ලාස්ටික් බොත්තම් ” ලෙස

රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබූ මෙම බහාලුම තුළ එවැනි කිසිවක් නොතිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ” මැන්චෙස්ටර් ” වර්ගයේ මෙම දුම්වැටි තොගය මෙසේ කොළඹ වරායෙන් පිට කර ගත්තේ නම් රුපියල් තිස් එක් කෝටි හැට ලක්ෂයක තීරු බදු ආදායමක් ශ්‍රී ලංකාවට අහිමි වන බව රේගුව ගණන් බලා තිබේ. මෙම නීතිවිරෝධී ආනයනය සම්බන්ධයෙන් මෙම බහාලුම නිදහස් කර ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රේගු බුද්ධි අංශ නිලධාරීහූ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

කටුනායක ටී. කේ. ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT