ගොඩගම කන්දේ විහාරය හා බටවල , නාගස්ගොඩැල්ල පුරාණ විහාරය යන උභය විහාරාධිපති ගොඩගම සුමේධ ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ පරාක්‍රම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඉකුත් 09 දා පැවැත්විණි.
පළමුව ශ්‍රී දේහය ගොඩගම කන්දේ විහාරයේ සිට දර්ශනීය පෙරහරකින් පනාගොඩ පරාක්‍රම විද්‍යාල ක්‍රීඩාංගණය දක්වා වැඩම කොට එහිදී ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණි.
එහිදී පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීම අරුක්ගොඩ සිරිරතන කෝට්ටේ පාර්ශ්වයේ උපාධ්‍යාය නා හිමියන් විසින් සිදු කළ අතර, මතක වස්ත්‍ර පූජාව කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත මකුරුප්පේ සෝමාලංකාර නා හිමියන් විසින් සිදු කරන ලදී.
පසුව රාජකීය පණ්ඩිත පත්බේරියේ විමලඥාන නා හිමියන්, ශාස්ත්‍රපති මාඹුල්ගොඩ සුමනරතන නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් පැවිදි අනුශාසනා සිදුකළ අතර අපවත් වී වදාළ නාහිමියන්ගේ ශිෂ්‍ය හබරකඩ විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී හෝමාගම සුනීත හිමියන් විසින් පුණ්‍යානුමෝදනාව සිදු කරන ලදී. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවා තිබූ ශෝක පණිවිඩයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විසින් ද , අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එවා තිබූ ශෝක පණිවිඩය, බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් ද , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එවා තිබූ ශෝක පණිවිඩය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ප්‍රදීප් කෝරළගේ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
මෙහිදී ගිහි පාර්ශ්වය නියෝජනය කරමින් ප්‍රධාන ගුණ කථනය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කරන ලදී.
අනතුරුව පැමිණ සිටි ගිහිපැවිදි විශාල පිරිසකගේ සෝ සුසුම් මැද අපවත් වී වදාළ ගොඩගම සුමේධ නා හිමියන්ගේ ශ්‍රී දේහය දර්ශනය ලෙස ඉදිකර තිබූ චිතකයේ තැම්පත් කොට ආදාහනය සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත මකුරුප්පේ සෝමාලංකාර නාහිමි , රාජකීය පණ්ඩිත පත්බේරියේ විමල ඥාන නාහිමි , කෝට්ටේ පාර්ශ්වයේ උපාධ්‍යාය පූජ්‍යපාද අරුග්ගොඩ සිරිරතන නා හිමි, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය මාඹුල්ගොඩ සුමනරතන නා හිමි, හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (පිරිවෙන්) ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය හා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර , බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
කොට්ටාව ප්‍රදීප් කුමාර, පනාගොඩ ඇන්ටන් ප්‍රනාන්දු