පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් නැඟෙන චෝදනා පිළිබඳ ජාත්‍යන්තර සබඳතා සහිත පිළිගත හැකි පරීක්ෂණයකට නොගොස් පාර්ලිමේන්තුව තුළින් විසඳුම් සෙවීමට උත්සාහ කිරීම විහිළුවක් යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පවසයි.
පාර්ලිමේන්තු කමිටු මඟින් විසඳුම් සෙවීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ ජනතාව තුළ ඒ සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවිශ්වාසය තවත් වැඩි වී විසඳුම් යටපත් වීම යැයි ද ඒ මහතා කීය.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානයක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු ඊයේ (11) මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් බාකීර් මාකාර් මහතා මේ බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා විසින් රචිත සිතමු නම් වූ ග්‍රන්ථය උන්වහන්සේ දෙනම වෙත පිළිගැන්වීම ද ඒ මහතා අතින් සිදු කෙරිණි.
ජාත්‍යන්තර සබඳතා සහිත විධිමත් පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් කළ යුතු බව කාදිනල් හිමිපාණන්ගේ ද අදහස බවත් ජනපතිවරයා ද ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ සහාය ඇතිව පරීක්ෂණයක් කළ යුතුය යන ස්ථාවරයේ සිටි බවත් කී ඒ මහතා විපක්ෂ නායකවරයා දරන්නේ ද ඊට සමාන මතයක් යැයි ද අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් අප තීන්දු ලබා නොදිය යුතු නමුත් පිළිගත හැකි සාධාරණ පරීක්ෂණයක් කිරීමේ වගකීමෙන් මිදිය නොහැකි යැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ එතරම් විශ්වාසයක් නැති පසුබිමක් තිබියදී අප තව තවත් එම අවිශ්වාසය වැඩි කරන ආකාරයේ ක්‍රියා නොකළ යුතු යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ රට අද පවතින තත්ත්වයට ඇද දැමූ පිරිසගේ ග්‍රහණයෙන් මිදී ජනපතිවරයා ජනතා අභිලාෂයන්ට අනුව යමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කළ යුතුව තිබෙන නමුත් එවැනි තත්ත්වයක් ඇතිවන බවක් පෙනෙන්නට නැතැයි ද මන්ත්‍රීවරයා කීවේය.
ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම අභියෝගයට ලක්වූ සමාජයක් අන්තවාදය කරා ගමන් කරන බවත් මේ මොහොත් සියලු දෙනා ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරදීම පිණිස කැපවිය යුතු බවත් ඒ මහතා කීය.
අසේල කුරුළුවංශ