Wednesday, April 23, 2025
Home » ශ්‍රී ලංකාව ගොඩදාන්න ඉක්මන් සහන දෙන්න

ශ්‍රී ලංකාව ගොඩදාන්න ඉක්මන් සහන දෙන්න

-අමෙරිකා ජනපති බයිඩ්න් ජී 20 නායකයන්ගෙන් ඉල්ලයි

by sachintha
September 12, 2023 5:49 am 0 comment

ණය අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාව වැනි අඩු ආදායම්ලාභී රටවලට අර්බුදවලින් ගොඩ ඒමට සහ ඔවුන්ගේ ආර්ථිකය නැවත ශක්තිමත් කර ගැනීමට හැකි වන පරිදි අර්ථවත් ණය සහන ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ජී 20 නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

එක්සත් ජනපද ධවල මන්දිරය මඟින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ගෝලීය ආර්ථිකයේ නායකයකු ලෙස තමන් ජී 20 රටවලින් මේ ඉල්ලීම කරන බවයි.

ජී 20 ලෝක නායකයන් විසින් ඝානාව සහ ශ්‍රී ලංකාව වැනි අඛණ්ඩව ණය ගැටලුවෙන් පීඩාවට පත්ව සිටින රටවල ගැටලු විසඳීමට කැපවී සිටින බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එමඟින් පැවසීය.

අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවලට අර්බුදවලින් ගොඩඒමට සහ ඔවුන්ගේ ආර්ථික අඩිතාලම නැවත ලබාගත හැකි වන පරිදි, “ඝානාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල පවතින ණය පීඩාකාරී තත්ත්වයන් විසඳීම සඳහා වන පියවර දෙගුණ කිරීමේ උත්සාහයන් සඳහා නවදිල්ලියේ G 20 නායකයන් කැපවී සිටිනවා. ඔක්තෝබර් මාසයේදී ලෝක බැංකුවේ සහ IMF වාර්ෂික රැස්වීම් මඟින් එක්සත් ජනපදය අර්ථවත් ප්‍රගතියක් අපේක්ෂා කරනවා” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ධවල මන්දිරය පවසයි.

නවදිල්ලි නුවර පැවැත්වෙන ජී 20 සමුළුව වඩාත් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ ප්‍රධාන ඉදිරි පියවරක් බව පෙන්වා දී තිබෙන ධවල මන්දිරය තිරසාර නොවන ණය පරිවර්තනීය ආයෝජන බවට පරිවර්තනය කිරීම සඳහා නව විසඳුම් ඉදිරිපත් කිරීමට සම්ප්‍රදායෙන් බැහැරව සිතා බලන ලෙස ද ජෝ බයිඩ්න් මහතා ජී 20 නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති බයිඩ්න් සහ අගමැති මෝදි මහත්වරු විසින් සමසත්කාරකත්වය දරන ලද උත්සවයකදී, බයිඩ්න් සහ හවුල්කරුවන් විසින් ඉන්දියාව – මැදපෙරදිග – යුරෝපීය ආර්ථික කොරිඩෝව ප්‍රකාශයට පත් කරන ලද අතර, එය යුරෝපයේ සිට ආසියාවට සම්බන්ධ වීමේ නව යුගයක් ආරම්භ කරන බව ද ගෝලීය වෙළෙඳාමට මෙන්ම සහයෝගිතාවට පහසුකම් සපයන බව ද ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.

ජී 20 රටවල දෙදින රාජ්‍ය නායක සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති අතර පළමු ජී 20 රාජ්‍ය නායක සමුළුව 2008 වසරේදී අමෙරිකාවේ වොෂිංටන් අගනුවරදී පැවැත්විය. ඔස්ට්‍රේලියාව, චීනය, ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඇතුළු රටවල් 19ක් සහ යුරෝපා සංගමය ජී 20 කණ්ඩායමට ඇතුළත් වෙයි.

හරිත සංවර්ධනය, තිරසාර සංවර්ධන ඉලක්කවල ප්‍රගතිය වේගවත් කිරීම, තාක්ෂණික පරිවර්තනය සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය සහ කාන්තා සවිබල ගැන්වීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙවර සමුළුවේදී අවධානය යොමුවූ අතර අප්‍රිකානු සංගමයට ජී 20 කණ්ඩායමේ සාමාජිකත්වය ලබාදීම පිළිබඳව ද සමුළුවේදී සාකච්ඡා කෙරිණි.

ජපාන අගමැති ෆුමියෝ කිශිඩා සහ බ්‍රිතාන්‍ය අගමැති රිශී සුනක් මහත්වරුන් ඇතුළු රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ මෙම සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දියාවට පැමිණියහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT