Home » මොරොක්කෝවේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 2500 පනී

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 2500 පනී

රටවල් රැසකින් සහනාධාර

by sachintha
September 12, 2023 6:15 am 0 comment

උතුරු අප්‍රිකාවට අයත් මොරොක්කෝවේ සිදු වූ දැවැන්ත භූ කම්පනයකින් මිය ගිය සංඛ්‍යාව 2500 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සුන්බුන් අතරින් තවදුරටත් මළ සිරුරු මතුවෙමින් තිබෙන බැවින් ඉදිරියේදී එය තවත් ඉහළ යනු ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අනුමාන කර තිබිණි.

භූ කම්පනයෙන් දින දෙකක් ගත වී ඇති බැවින් ජීවතුන් අතර සිටින පිරිස සොයා මෙහෙයුම් කඩිනම් කිරීමට සහන සේවා කණ්ඩායම්වලට සිය දෑත් භාවිත කරමින් කැණීම් කටයුතු සිදු කිරීමට ද සිදු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. තුවාල ලැබූ පිරිස ඊයේ වන විට 2476ක් බවට පත්වී තිබූ අතර, ඉන් පුද්ගලයන් දහසකගේම තත්ත්වය බරපතළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 60කට පසු මොරොක්කෝවේ සිදු වූ මේ විනාශයෙන් තවත් දසදහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද වාර්තා වේ.

මේ වන විට බ්‍රිතාන්‍යය, කටාර්, ස්පාඤ්ඤය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහන සේවා සහ ආධාර එවා ඇති අතර, තවත් රටවල් ගණනාවක් ආධාර ලබාදීමට ඉදිරිපත් වී ඇතැයි ද වාර්තා වේ. රිච්ටර් මාපකයේ 6.8ක අගයක් සඳහන් වූ මේ භූ කම්පනය සිදු වී ඇත්තේ උතුරු අප්‍රිකාවේ උසම කඳුවැටිය වන ඇට්ලස් කඳුවැටිය ආශ්‍රිත කලාපයේ ජනප්‍රිය සංචාරක නගරයක් වන මරකේෂ් නගරයේය. එහි ඇතැම් පළාත්වල ගම්මාන පිටින්ම පොළොවට යට වී ඇති බවත්, ඇතැම් ගම්මානවල ඉතිරිව ඇත්තේ නටබුන් පමණක් බවත් වාර්තා වේ. බිමට සමතලා වූ ඇතැම් ගම්මාන කඳුකරයේ පිහිටා ඇති බැවින් එම ස්ථාන කරා ළඟාවීම අතිශය දුෂ්කර වී ඇතැයි ද වාර්තා වේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT