Home » ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නඟන චෝදනා ප්‍රතික්ෂේප කරනවා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නඟන චෝදනා ප්‍රතික්ෂේප කරනවා

-ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ අවධාරණය කරයි

by sachintha
September 12, 2023 8:00 am 0 comment

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන 46/1 සහ 51/1 යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ අවධාරණය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන 51/1 යෝජනාවට අදාළ සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණය පිළිනොගන්නා අතර ඊට කිසිඳු සහායක් ලබානොදෙන බවද 46/1 සහ 51/1 යෝජනා ශ්‍රී ලංකා රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර ඊට අමතරව ලිඛිත වාර්තාව ප්‍රතික්ෂේප කරන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනී හිමාල් අරුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (11) ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සලයේ 54 වැනි සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් එහි නියෝජ්‍ය මහ කොමසාරිස් නාදා අල් නෂීෆ් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා තානාපතිනිය මේ බව සඳහන් කළේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම ලිඛිත වාර්තාවේ අන්තර්ගතයන් තුළින් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පෙන්නුම් නොකරන බව පෙන්වා දී තිබෙන ශ්‍රී ලංකා තානාපතිනිය ආර්ථික, මූල්‍ය සහ සමාජ ස්ථාවරභාවය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙන බවද සඳහන් කර ඇත.

දේශීය යාන්ත්‍රණයක් තුළින් මානව හිමිකම් සහ වගවීම් පිළිබඳ ශ්‍රී ලංකාව ප්‍රගතියක් කරා ගමන් කරන බව පෙන්වා දී තිබෙන ඒ මහත්මිය නව රජයේ දැක්ම සහ සංහිඳියාව ඇති කිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් පසුගිය දා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සඳහන් කළ බවද නැවත පදිංචි කරවීම, 13 වැනි සංශෝධනය සහ උතුරේ ඉඩම් ගැටළුව සම්බන්ධව එහිදී අවධානය යොමුකර තිබෙන බවද පවසා තිබේ.

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූයේ මේ උත්සාහයන් සාර්ථක කර ගැනීමට බවද මානව හිමිකම් කවුන්සලයේ වාර්තාවට ලබාදුන් ප්‍රසිද්ධිය මෙන්ම ශ්‍රී ලංකා රජයේ මේ ප්‍රතිචාරයටත් ප්‍රසිද්ධියක් ලබාදෙන ලෙස ඒ මහත්මිය ජගත් මානව හිමිකම් කවුන්සලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළාය. අපගේ ප්‍රතිචාරය තුළ සැබෑ යථාර්ථය පිළිඹිබු වන බවද ඇය පෙන්වා දී ඇත.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා තානාපතිනිය පෙන්වා දී තිබෙන්නේ ලිඛිත යාවත්කාලීන කිරීම, එහි නිගමන සහ නිර්දේශ ද ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන බවත් සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණය පිළිගත නොහැකි වීම තුළ ජගත් මානව හිමිකම් කවුන්සලයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවට විරුද්ධව හෝ ඡන්දය දීමෙන් වැළකී සිටි බවද සිහිපත් කර ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT