Home » ඔටුන්න ගැලවීමේ නඩුව ලෝකය ඉදිරියේ මා නිරුවත් වූවා සේ දැනුණා

ඔටුන්න ගැලවීමේ නඩුව ලෝකය ඉදිරියේ මා නිරුවත් වූවා සේ දැනුණා

-රූ රැජින පුෂ්පිකා ද සිල්වා

by sachintha
September 12, 2023 6:51 am 0 comment

තම හිස මත පැලඳූ කිරුළ ද්වේෂ සහගතව ඉවත් කිරීමෙන් ලෝකය ඉදිරියේ නිරුවත් කළා හා සමානව තමන් ලැජ්ජාවට පත් වූයේ යැයි හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ ඊයේ (11) සාක්කි ලබාදෙමින් පැවැසුවාය.

නෙළුම් පොකුණ රඟහලේ දී 2021 අප්‍රේල් 4 වන දින පැවැත්වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ තරගයේ දී ජයග්‍රහණය කර කිරුළ පැලඳි පුෂ්පිකා ද සිල්වාගේ හිසින්, හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි විසින් එම කිරුළ ගලවා අනු ශූරත්වය ලබාගත් තරගකාරියට පැලඳවීම නිසා ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී සාක්ෂිකාරිය මේ බව සඳහන් කළාය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ මෙම නඩු විභාගය පැවැත්වුණු අතර කුරුඳුවත්ත පොලිසියේ පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙය විය.

සිද්ධිය සමථ මණ්ඩලය හමුවේ සමථ නොවූයෙන් නඩුව විභාගයට ගැනීමට අධිකරණය පියවර ගත් අතර ලෝක විවාහක රූ රැජින වූ කැරොලයින් ජූරි ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය වැඩිදුරටත් සාක්ෂි දෙමින් 2021ලෝක රූ රැජින තරගයට ඉදිරිපත් වීම සඳහා සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී සත්‍යය තොරතුරු ඉදිරිපත් කර සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ බවත් අවසන් තරගය පැවති අප්‍රේල් 4 වන දින එම තරගයට සහභාගි වුණ බවත් කීය.

තරගයෙන් සුදුසුකම් ලබා කිරුළ හිමි වූ අවස්ථාවේ සියලු දෙනාට ආචාර කිරීමෙන් පසු අසභ්‍ය වචන භාවිත කරමින් තරගකාරියන්ගේ ස්වාමි පුරුෂයන් නොමනා ලෙස හැසුරුණු බවත් කැරොලයින් ඔටුන්න ගලවා අනුශූරියට පැලැඳීමට ක්‍රියා කළ බවත් සාක්ෂිකාරිය පැවසුවාය.

පසුව තමා මේ සම්බන්ධයෙන් පොලිසියට ගොස් පැමිණිල්ලක් කළ බවත් පසුව ස්නානය කරන අවස්ථාවේදී හිසෙහි දැවිල්ලක් හටගත් බැවින් නවලෝක රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගත් බවත් ඇය පැවැසුවාය.

මෙහිදී විත්තිය වෙනුවෙන් නීතිඥ නලින් ද සිල්වා මහතා සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නවලට භාජනය කළේය.

සාක්ෂිකාරිය විසින් ලබාදුන් සාක්ෂිවල පරස්පරතා අධිකරණය හමුවේ ලකුණු කළ නීතිඥවරයා දේශපාලන බලය යොදා ගනිමින් අසාමාන්‍ය ලෙස ප්‍රසිද්ධියක් ලබා ගැනීමට ඇය මෙම ක්‍රියාව කළ බවට චෝදනා කළේය.

ඊට පිළිතුරු ලබාදුන් සාක්ෂිකාරිය තමාට සිදුවූ අසාධාරණය ලෝකය ඉදිරියේ විඳ දරා ගත් බවත් විත්තිකරුවන් සමාව ගෙන සමථ කර ගැනීමට එකඟ නොවුණ නිසා නඩු මඟට පිවිසීමට ක්‍රියාමාර්ග ගත් බවත් පැවසුවාය.

අදාළ කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය ලබන 24 වැනි දිනට කල් දමමින් සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කළේය.

සිරන්ජනී කුමාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT