Home » සුපිරි 4 වටයේ කෙරුමෝ කොළඹට රොදබඳිති

සුපිරි 4 වටයේ කෙරුමෝ කොළඹට රොදබඳිති

ටිකට් එකක් රු. 1000 දක්වා අඩු කරයි

by mahesh
September 8, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

වැස්ස නෑ කියන්න බෑ: ඒක 50ට පනහයි
– කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හෙට ආරම්භ වන සුපිරි 4 වටයේ තරග උදෙසා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය යන රටවල ක්‍රීඩකයෝ ඊයේ වන විට කොළඹ තරු පහේ හෝටල්වල නවාතැන් ගැනීමට පැමිණියහ. ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශය ඊයේ පස්වරුවේ පාකිස්තානයේ ලාහෝර්හි සිට පැමිණි අතර, ඉන්දීය පිල පෙරේදා මහනුවර සිට කොළඹට පැමිණ සිටියේය. සුපිරි 4 වටයේ එක් තරගයක් ලාහෝර්හි පැවති අතර, දෙවැනි අදියරේ තරග ආරම්භ කරමින් හෙට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හමුවීමට නියමිතය.

මේ දිනවල කොළඹ අවට පවතින වර්ෂාව හේතුවෙන් ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත සුපිරි 4 වටයේ තරග පිළිබඳ විවිධ මත පළ වෙමින් පවතින අතර, දැනටමත් ප්‍රවේශපත්‍ර මිල දී ගත් ප්‍රේක්ෂකයන්ට හොඳ තරගාවලියක් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවේ ද යන සැකය මතු කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී කාලගුණ විද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය පැවසුවේ කඩින් කඩ වැසි ඇති වුවද එය සියයට 50ට පනහක පමණ ප්‍රමාණයක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි. “වැස්ස නෑ කියන්න බෑ. ධාරාණිපාත වැස්සක් නැති වුණත් කඩින් කඩ වැසි ඇතිවිය හැකි තත්ත්වයක් පෙන්නුම් කරනවා. 10 වැනිදා කොළඹ අවට වැසි වැටීම සිදු විය හැකියි. ඕනෑම වේලාවක වැස්ස වැටෙන්න පුළුවන් තත්ත්වයක් පෙන්නුම් කරනවා” ජයකොඩි මහත්මිය පැවසුවාය.

වර්ෂාව පතිත වේ යැයි අනුමාන කරන 10 වැනිදා දිනයේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය පැවැත්වෙන අතර, මෙය මේ තරගාවලියේ දැවැන්තම තරගය ලෙස සැලකේ. දෙරට අතර මූලික වටයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේ පැවති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය. මේ තරගය නැරැඹීමට ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් 7000ක පමණ පිරිසක් පැමිණ සිටි අතර, එම පිරිස කොළඹ පැවැත්වෙන සුපිරි 4 වටයේ තරගය දැක බලා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වේ.

කෙසේ වුවද ශ්‍රී ලංකාව ඇතුළත් ඝර්ම කලාපීය රටවල නිරන්තරයෙන් කාලගුණය වෙනස් වන බැවින් වැසි තත්ත්වයේ වෙනසක් වුවහොත් එය පුදුමයට කරුණක් නොවන බව ද කාලගුණ විද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය ‘දිනමිණ’ට පැවසුවාය. “කාලගුණ දත්ත අනුව මේ දිනවල වැස්ස තිබුණත් අපේ වගේ රටවල කාලගුණය ඉක්මනින් වෙනස් විය හැකියි” ඇය සඳහන් කළාය. දකුණු කලාපීය රටවල කාලගුණික තත්ත්වය සමාලෝචනය කරන රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවති අතර, එහිදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවම ප්‍රවේශපත්‍ර මිල රුපියල් 1000ක් දක්වා අඩු කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවරගෙන ඇති අතර, පාකිස්තාන – ඉන්දියා තරගයට හා අවසන් මහා තරගයට මෙය අදාළ නොවන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT