Monday, April 21, 2025
Home » ජස්වර් එන්න ‘ෆුට්බෝල්’ ගහන්න දක්ෂිත සුමතිපාලගෙන් විවෘත ආරාධනාවක්

ජස්වර් එන්න ‘ෆුට්බෝල්’ ගහන්න දක්ෂිත සුමතිපාලගෙන් විවෘත ආරාධනාවක්

by mahesh
September 8, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට නාම යෝජනා ලබාදී සිටින ජස්වර් උමර් මහතාගේ කණ්ඩායම හා තම කණ්ඩායම අතර පාපන්දු තරගයකට ආරාධනා කරන බවත්, එසේ නොහැකි නම් පාපන්දු ක්‍රීඩාව පිළිබඳ විවෘත සංවාදයකට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් සභාපති තනතුරට නාම යෝජනා දී සිටි දක්ෂිත සුමතිපාල මහතා පවසයි. තම කණ්ඩායමේ සියලු අපේක්ෂකයින් පාපන්දු ක්‍රීඩා කළ අය බැවින් පාපන්දු තරගයකට නොබියව මුහුණදිය හැකි බව සුමතිපාල මහතා සඳහන් කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. පාපන්දු නිලවරණයට ඉදිරිපත් වූ අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ හා එම පාර්ශ්වයේ නාම යෝජනා 4ක් ප්‍රතික්ෂේපවීම සම්බන්ධයෙන් හා ප්‍රතිවාදී කණ්ඩායම ගෙන යන දුර්මතවලට පිළිතුරුදීමේ අපේක්ෂාවෙන් මේ මාධ්‍ය හමුව සංවිධාන කළ බව සුමතිපාල මහතා සඳහන් කළේය.

පාපන්දු ලීග්වල ක්‍රියාකාරීත්වයක් නොමැති බව පවසා තමාගේ හා තම කණ්ඩායමේ නාම යෝජනා අවලංගු කිරීම අසාධාරණ බව ඒ මහතා පැවැසීය. “මා ආරාධනා කළා ජස්වර් මහතාට ‘ෆුට්බෝල්’ මැච් එකක් ගහන්න එන්න කියා. ඒකට තවමත් උත්තරයක් නෑ. එහෙම බැරිනම් විවෘත සංවාදයකට මා ආරාධනා කරනවා. අපේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමෙන් ජයග්‍රහණය වළක්වන්න බෑ. අපේ සියලු දෙනා පාපන්දු ක්‍රීඩා කළ අය. කළමනාකාරීත්වය පිළිබඳ වෘත්තීය මට්ටමේ අත්දැකීම් ඇති අය. පාපන්දු ක්‍රීඩාවේ වසර ගණනාවක් නිරතවී සිටියත් ලීග්වලට අනුයුක්තව ක්‍රියාකාරී නොමැති යැයි පවසා අපේ නාම යෝජනා 4ක් ප්‍රතික්ෂේප කොට තිබෙනවා. එහෙම වුණත් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ කිසිවකු නිතරගයෙන් තනතුරුවලට එන්නේ නෑ. මුහුණට මුහුණ ඡන්දය පැවැත්විය යුතුයි. නිලවරණ කමිටුවට හා අභියාචනා කමිටුවට ගරු කරනවා. නමුත් ඔවුන් ලබාදුන් තීරණයට අපේ එකඟත්වයක් නෑ” දක්ෂිත සුමතිපාල මහතා පැවසීය.

මේ සම්බන්ධව ආසියානු පාපන්දු සම්මේලනයේ හා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ස්ථාවරය බලාපොරොත්තුවෙන් සිටින බවත්, අනතුරුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරන බවත් ඒ මහතා පැවැසීය. “අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය මාරුවෙන් මාරුවට පාපන්දු පරිපාලනය කළ අය. දැන් වෙනසක් අවශ්‍යයි. මා සමඟ පාපන්දු ලීග් 36ක් සිටිනවා. තවත් අය ඉදිරියේ එකතු වේවි. අපි ඉතාම පිරිසිදු පාලනයක් ගෙන යෑමට කටයුතු කරනවා. නව ව්‍යවස්ථාව අනුව කවුන්සිල රැස්වීම් නෑ. එදා විධායක සභාව 12 වතාවක් රැස් වුණා. ඉදිරියේ එය වසරකට පස් වතාවක් පමණයි. නව ව්‍යවස්ථාවේ වෙනස් කළ යුතු තැන් අප හඳුනාගෙන සිටිනවා. මෙවර නිලවරණයෙන් පරිපාලනය භාරගෙන සියලු දේ නිවැරැදි කිරීම අපේ අපේක්ෂාවයි” සුමතිපාල මහතා පැවසීය.

මෙවර නිලවරණයේදී තම කණ්ඩායම පරාජයට පත් වුවහොත් සම්පූර්ණයෙන්ම පාපන්දු ක්‍රීඩාවෙන් ඉවත්ව විදේශගත වන බව උප සභාපති තනතුරට නාම යෝජනා දී සිටින වෙන්නප්පුව පාපන්දු ලීගයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා පැවැසීය. ක්‍රීඩාව බේරා ගැනීමේ විශාල සටනකට තම කණ්ඩායම පිවිස සිටින බව ඒ මහතා අවධාරණය කළේය. “කලින් දුන් පොරොන්දු ඉටු නොකළ කණ්ඩායමක් දැන් යළි බලය ඉල්ලනවා. ලීග් සතුව විශාල කාර්යයක් තිබෙනවා. පාපන්දුව ගොඩ ගන්නවාද? නැද්ද? ලීග් කල්පනා කළ යුතුයි. ලීග්වලින් සියයට 20ක් වගේ මුදල් ගැනීම් ඇතුළු විවිධ දේට නැමෙනවා. අනෙක් සියයට 80ක් අප සමඟ ඉන්නවා. පාපන්දු සම්මේලනයේ නිලධාරීන් ඡන්ද ව්‍යාපාරයේ නිරතවී සිටිනවා. ඉදිරියේදී සියලු දේ හෙළි කරනවා. අපේ නායකයා පිරිසිදු කෙනෙක්. ඒ නිසා ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයි” ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික, ජනසතු සේවා පාපන්දු භාණ්ඩාගාරික සුදාගර් මහතා පැවසුවේ පසුගිය කාලයේ සිදුවූ සියලු දූෂණ වංචා හෙළි කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවය. “අපට බලය දෙන්න. පිරිසිදු පාලනයක් ඇති කරන්න සූදානම්. මා එදා ඔවුන් සමඟ සිටියා. නමුත් හොඳ නායකත්වයක් ලැබුණ නිසා දැන් දක්ෂිත මහතාගේ කණ්ඩායමේ සිටිනවා. බලය ලබාගත් පසු ස්ථීරවම පාපන්දුවට වෝහාරික විගණනයක් සිදු කරනවා. එවිට සත්‍ය දැන ගන්න පුළුවන්” සුදාගර් මහතා පැවසීය.

නාම යෝජනා පත්‍රවල අඩුපාඩු යැයි පවසා විධායක සභාවේ කාන්තා නියෝජනය ප්‍රතික්ෂේප වූ දෙණියාය ලීගය හේෂිණී ආරියරත්න මහත්මිය මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ 2009දී කාන්තා පාපන්දු නායිකාව වූ තමන් වසර 10කට වැඩි කාලයක් කාන්තා පාපන්දු පිල නියෝජනය කළ ද, නාම යෝජනාව ප්‍රතික්ෂේපවීම පිළිබඳ කනගාටු වන බවය. “අද කාන්තා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණීගත කිරීමේ 155 වැනි ස්ථානයට පත්වෙලා. කාන්තා පාපන්දුව පිළිබඳ ප්‍රති පාර්ශ්වයේ කිසිදු දැක්මක් නෑ. ලීග් නියෝජතයන් බුද්ධිමත්ව ඡන්දය භාවිත කළ යුතුයි” හේෂිණී ආරියරත්න මහත්මිය සඳහන් කළාය.

නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව දක්ෂිත මහතාගේ කණ්ඩායමේ නාම යෝජනා 9ක් හා ජස්වර් උමර් මහතාගේ කණ්ඩායමේ 13ක් අතර, පාපන්දු නිලවරණය මේ 29 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. පාපන්දු ලීග් 67ක නියෝජිතයෝ රහස් ඡන්දයෙන් ඉදිරි සිවු වසරක කාලයකට නිලධාරීන් පත් කර ගැනීම මෙහිදී සිදු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT