හෝමාගම අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ සේප්පුව කපා රුපියල් නව ලක්ෂයකට ආසන්න මුදලක් සොරාගෙන ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය කියයි. පෙරේදා (6) රාත්‍රී කාලයේත් ඊයේ 7 අලුයම් කාලයේත් අතර එම සොරකම සිදු වී ඇති බවට සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
හෝමාගම සමෘද්ධි මූල බැංකුවේ පිටුපස කොටසේ ජනේලයේ යකඩ ග්‍රිල් යකඩ කපන කියතක් ආධාරයෙන් කපා ඇතුළු වී දෙවන කොටසේ බිත්තියට අල්ලා තිබෙන සේප්පුවේ පැත්තක හරි හතරැස් කොටසක් කපා එහි තැන්පත් කර තිබු රුපියල් අට ලක්ෂ 64,891 මුදලක් සොරාගෙන ඇති බවට එහි කළමනාකාරිනිය ඊයේ (7) දහවල් පොලිසියට පැමිණිලි කර ඇත. පෙරේදා 7 රාත්‍රියේ ඇතිවූ වර්ෂාව මධ්‍යයේ මෙම සොරකම සිදු කරන්නට ඇති බවට සැක කරන පොලිසිය බිත්තියට සවිකර තිබූ සේප්පුව කැපීම සඳහා බැංකුවේ ම විදුලිය පාවිච්චි කර ඇති බව සිදුකළ විමර්ශනවල දී අනාවරණ වී ඇත. මෙම සොරකමට පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි. නුගේගොඩ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් සහ ඇඟිලි සටහන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් පරීක්ෂණ පැවැත් වූහ. හෝමාගම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඡායා-පාදුක්ක සමූහ
රෙක්සි වෙත්තසිංහ