කාන්තාවන් පස් දෙනෙකුගේ ජායාරූපවලට නිරුවත් කාන්තා ජායාරූප බද්ධ කර අන්තර්ජාලයට මුදා හැර ඇති බවට රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකාර වෘත්තීය ජායාරූප ශිල්පියෙකුට අත්තනගල්ල අංක 02 මහේස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (06) පස්වරුවේ තරයේ අවවාද කර දැඩි කොන්දේසි සහිත රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කර ඇත. නිට්ටඹුව පනාවල ප්රදේශයේ පදිංචි වල්පොළ කංකානම්ලාගේ සඳුන් ලහිරු දිල්ෂාන් නමැත්තෙකුට එසේ ඇප නියම කළේය.
ලක්ෂ දෙකක ශරීර ඇපයට පුද්ගලයින් දෙදෙනෙකු අත්සන් කළ යුතු බවටද නියෝග කෙරුණි.
එම ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ග්රාමසේවා සහතික සහිත ළඟම ඥාතියෙකු විය යුතු බවටද නියෝග කෙරුණි.
කාන්තාවන්ගේ ජායාරූප වලට නිරුවත් ලිංගික අවයව ඇතුළත් ජායාරූප කොටස් බද්ධ කර අන්තර්ජාලයට මුදා හැර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පෙරේදා (06) පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ රිමාන්ඩ් භාරයේ සිට සැකකරු අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
මෙහිදී නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න මහත්මිය කරුණු දක්වමින් සැකකරු වෘත්තීය ජායාරූප ශිල්පියෙකු බවත් මොහු විසින් ලබා ගෙන තිබූ කාන්තාවන් පස් දෙනෙකුගේ ජායාරූපවලට කාන්තා නිරුවත් කොටස් බද්ධ කර අන්තර්ජාලයට මුදා හැර ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පවසා සිටියේය.
කර ගෙන යන පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තබන මෙන් ද පොලිස් පරීක්ෂකවරිය ඉල්ලා සිටියාය.
මෙහිදී නීතිඥ ශෂිකලා වනිගසුන්දර මහත්මිය කරුණු දක්වමින් සැකකරුගේ බිරිය විවෘත අධිකරණයට පැමිණ ඇති බවත් මින් ඉදිරියට මෙවැනි දේ සිදු නොකරන බවට සැකකරු පොරොන්දු වන බවත් පවසා සිටියාය. මේ හේතුවෙන් පවුල් ජීවිතයටද ප්රශ්නයක් ඇති වී තිබෙන බවත්, මින් ඉදිරියට සැකකරු මඟින් මෙවැනි දේ සිදු නොකිරීමට ඔහුගේ බිරිය පොරොන්දු වන හෙයින් ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදා හරින මෙන්ද නීතිඥ වරිය වැඩිදුරටත් කරුණු දක්වමින් ඉල්ලා සිටියාය. මෙහිදී මහේස්ත්රාත්වරයා විවෘත අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් සැකකරුගේ පවුල් ජීවිතයට ප්රශ්නයක් ඇති වන බව කියන නමුත් සැකකරුගේ මෙම ක්රියාවෙන් පීඩාවට පත්ව සිටින කාන්තාවන් පස් දෙනෙකුගේ පවුල් ජීවිතවලට සිදු වී ඇත්තේ කුමන තත්ත්වයක්ද යන්නත් අධිකරණය අවධානය යොමු කළ යුතු බවත් මෙය ඉතාමත්ම පහත්ම ක්රියාවක් බවත් පවසා සිටියේය. මින් ඉදිරියට මෙවැනි පහත් ක්රියාවකට සම්බන්ධ වී අධිකරණය ඉදිරියට පැමිණියහොත් අනිවාර්යෙන්ම ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයේ රඳවා තබන බවටද මහේස්ත්රාත්වරයා සැකකරුට තරයේ අවවාද කරමින් එසේ කොන්දේසි සහිත ශරීර ඇප නියම කළේය.
මෙම නඩුව නැවත කැඳවීම 2024.02.21 වනදාට කල් තැබිණ.