නිට්ටඹුව, පනාවල මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි පාසල් ගුරුවරියකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන් මාලයක් කඩා ගෙන පලා ගොස් සිටි බව කියන විවිධ පාතාල අපරාධ සඳහා අධිකරණ කිහිපයකින්ම ඇප මත මුදා හැර සිටින පාතාල කල්ලියක ප්‍රබලයෙකු යැයි සඳහන් සැකකරුවෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මේ මස 11 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (06) පස්වරුවේ නියෝග කළේය. දෙබහැර කැටකාලපිටිය ප්‍රදේශයේ පදිංචි මංගල මදුරංග නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.
නිට්ටඹුව පනාවල මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි පාසල් ගුරුවරියකගේ ගෙල බැඳි රන් මාලයක් පසුගිය 31 වැනිදා පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් කඩා ගෙන පලා ගොස් තිබිණ. මේ පිළිබඳව ලද තොරතුරකට අනුව කොල්ලය සිදු වී සුළු වේලාවක් ඇතුළත නිට්ටඹුව පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පලා යන යතුරුපැදිය අල්ලා ගැනීම සඳහා ජීප් රථයකින් ලුහු බැඳ යද්දී යතුරුපැදිය පෙරළීමත් සමඟ යතුරුපැදිකරු වන හිටපු හමුදා සෙබළෙකු සමඟ යතුරුපැදිය අත්අඩංගුවට ගත් නමුත් මෙම සැකකරු කඩා ගන්නා ලද රන් මාලයද සමඟ පැන ගොස් සිටි බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.
නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා සැකකරු ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම සැකකරු සැඟ වී සිටියදී දෙමටගොඩ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන නිට්ටඹුව පොලිසියට භාර දුන් බව පවසා සිටියේය.
මොහු කොල්ලකා ගෙන ගිය රන් මාලය උකස් කර ඇති බවත් එයට අදාළ රිසිට් පත මොහු සන්තකයේ තිබී සොයා ගත් බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියේය.
ටී 56 ගිනිඅවි තුනක් හා එම ජීව උණ්ඩ පුරවන ලද පතරොම් ගැබ් හතරක් කාරයකින් රැගෙන යද්දී ගම්පහ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද නඩුවක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවතින බවත්, අත්තනගල්ල, පූගොඩ හා වරකාපොළ අධිකරණවල අපරාධ නඩු හා හෙරොයින් ජාවාරම් කිරීමේ නඩු ගණනාවක්ම තිබෙන බවත් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
මොහු දැනට විදේශ රටකට පැන ගොස් සිටින ගණේමුල්ල සංජීව නමැත්තාගේ පාතාල කල්ලියේ ප්‍රබලයෙකු බවට ද පරීක්ෂණවලදී හෙළිවී ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියේය.
පොලිසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව රන් මාල කොල්ලයට අදාළව එසේ සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කෙරිණි.
මෙම නඩුව නැවත කැඳවීම මේ මස 11 වනදාට කල් තැබිණ.