හෙම්මාතගම නගරය මැද පාර හරහා ඇද තිබූ ටෙලිකොම් ආයතනයට අයත් රැහැනක් පාර මැද එල්ලී තිබියදී එය වාහනවල පැටලී විවිධ අපහසුතාවයන්වලට ලක් වූ අවස්ථාවේ මහ වැසි මැද හෙම්මාතගම පොලිසියේ රථ වාහන ස්ථානාධිපතිවරයා රථවාහන සහ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 07 උදෑසන කටයුතු කිරීම ජනතාවගේ පැසසුමට ලක් විය.
අධික වැසි තත්ත්වය නිසා ටෙලිකොම් කණු අතර ඇද තිබූ මෙම රැහැන මාර්ගය මැද එල්ලී මුලින්ම බසයක වැදි එහි වහලයට සහ විදුරුවකට දැඩි හානි සිදු විය. ජනතාව විසින් මේ බව දැනුම් දීමට මාවනැල්ල ටෙලිකොම් ආයතනයට දුරකතන ඇමතුම් ලබා ගත්ත ද එම අංකයටද පිළිතුරක් නොවීය. එමෙන්ම හෙම්මාතගම සිට මාවනැල්ල දක්වා සහ ගම්පොළ, අරණායක, දිප්පිටිය දෙස සිට මාවනැල්ල නගරයට ගමන් කරන වාහන රැසකටම මෙම ටෙලිකොම් රැහැන බාධාවක් බවට පත් විය.
මහ වැස්ස නිසා තරමක මීදුමත් උදෑසන දක්නට ලැබුණු අතර, මේ බව හෙම්මාතගම පොලිසියට ලැබුණු තොරතුරකින් පසුව මහ වැසි මැද එහි පැමිණි හෙම්මාතගම රථ වාහන අංශයේ ස්ථානාධිපති වයි. වික්ටර් මහතා රථ වාහනවල රැහැන පැටලී හානිවීම වැළක්වීමට මාර්ගයේ ගමන් කරන රියැදුරන් දුර තියා දැනුවත් කළ අතර, ඒ අතරේ දුරකතන කණුව තිබෙන ස්ථානයේ බැමි මත නැඟී වැසි මැද තාවකාලිකව එම රැහැන මාර්ගයේ එල්ලී පැවතීමෙන් වළක්වා ගන්නට උත්සාහ කර නමුත් එයද ව්‍යාප්ත විය.
පසුව වික්ටර් මහතා මීට පිළියම් සොයමින් සිටින අතරවාරයේදී මාවනැල්ල දෙස සිට පැමිණි විදුලිබල මණ්ඩලයේ ආපදා සැකසීමේ රථයෙන් ඒ මහතා උදව් ලබාගෙන තාවකාලිකව එම රැහැන ඇද මාර්ගයේ අවහිරයක් නොවන පරිදි සකස් කරන්නට උත්සාහ කර අතර, එම නිලධාරීන්ගේ කැපවීම නිසා අනතුරු අවස්ථා කිහිපයක්ම මඟ හරවා ගැනීමට හැකි විය. ඊට පැය තුනකට පමණ පසුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් පැමිණ එම රැහැන සහ කණු වෙනස් කරමින් යළි මෙවැනි අනතුරක් සිදු නොවෙන ලෙස රැහැන් සැකසීමට කටයුතු කරන ලදි. කෙසේ වෙතත් මහ වැසි මැද තම වෘත්තියට එහා ගිය සේවයක් ජනතාව වෙනුවෙන් ඉටු කළ නිලධාරියාගේ එම කැපවීම අගය කළ යුතු බව ජනතාව පවසයි.
ඡායාරූප – සමන් විජය බණ්ඩාර