Monday, April 21, 2025
Home » බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශවලට පහරදී විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය විනාශ කිරීමට ඉඩදිය නොහැකියි

බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශවලට පහරදී විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය විනාශ කිරීමට ඉඩදිය නොහැකියි

by chanaka
September 8, 2023 12:42 pm 0 comment

බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශවලට පහරදී විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය විනාශ කිරීමට ඉඩදිය නොහැකි බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ මේ පිටුපස සිටින අය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) පාර්ලිමේන්තුව රැස්විය.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

ගරු කතානායකතුමනි, මේ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජයට හා ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරන්න වක්‍රාකාරයෙන් කටයුතු සිදුවෙනවා. පසුගිය කාලයේදී විධායකය සම්බන්ධයෙන් අවිශ්වාසයක් ඇති කරල විධායකය එලවන්න කටයුතු කළා. වර්තමානයේදී විධායකයට පහර දෙන්න කටයුතු කෙරෙමින් පවතිනවා. ව්‍යවස්ථාදායකයෙත් 225ම එපා කියනවා. ඒ වගේම අද වෙනකොට අධිකරණය සම්බන්ධ විශ්වාසය නැති කරන්න යම් යම් මතවාද හදන්න සමහරු කටයුතු කරනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේක පිටුපස්සෙ ඉන්නෙ කවුද කියල හොයල බලන්න ඕන.

ඒ වගේම පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය කිසිම දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයකු අනුමත කරනවයි කියල මම හිතන්නේ නැහැ. ඒ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අය වහන්න උත්සාහ ගන්නව කියල වත්මන් ජනාධිපතිවරයාට චෝදනා කරන්න සමහරු උත්සාහ ගන්නවා. වර්තමාන ජනාධිපතිතුමා ඒ කාලේ ආරක්ෂක මණ්ඩල රැස්වීමටවත් කැඳවා නැති බව මුළු රටම දන්නවා. දැන් ඉන්න විපක්ෂනායකතුමා එදා ආණ්ඩුවෙ ඇමතිවරයෙක්. මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවුණයින් පස්සේ ඒ ගැන හොයන්න පාර්ලිමේන්තු කමිටු පත් කළා.
ගරු කතානායකතුමනි, මම වැරදිනම් නිවැරිදි කරන්න. මම දන්නා තරමින් එෆ්.බී.අයි එක මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා. ඒ වාර්තාව දීල තිබුණා. අපේ රජය බලයට පත්වුණාම කාදිනල්තුමාගේ ඉල්ලීම අනුව තානාපතිතුමා හරහාත් ඉල්ලීමක් කළා ඒ වාර්තාව ලබාදෙන්න කියල. ඒ වාර්තාව ලබාදීල තිබෙනවා. ඒ වාර්තාව සභාගත කරන්න. ඒ වගේම ජනතාව දැනුවත් කිරීමටත් කටයුතු කරන්න. එෆ්.බී.අයි සංවිධානයට වඩා වැඩිදුර ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන්න අවශ්‍යනම් එය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අපි කතාකළ යුතුයි.

මේ සම්බන්ධයෙන් කාට හෝ සැකයක් ඇත්නම් ඒ සැකය නැති කරන්න කටයුතු කළ යුතු බව මා විශ්වාස කරනවා. ඒ සඳහා පසුබිමක් සැකසිය යුතුයි. එහෙම නැතුව බුද්ධි අංශ, ආරක්ෂක අංශවලට පහරදීල විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය විනාශ කරන්න දෙන්න බැහැ. එහෙම වුනොත් රටට වෙන්නෙ මොකද්ද කියල අපි කල්පනා කරන්න ඕන.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යමක් ප්‍රකාශ කරයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා – කිරිඇල්ල මන්ත්‍රීතුමා මේ ගැන විවාදයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල (ස.ජ.බ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපිට දින තුනක විවාදයක් ඕන.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT