සෞඛ්‍ය සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තිබේ නම් ඒවා විසඳා ගැනීමට කෝප්, කෝපා භාවිතා කළ හැකි අතර, ගැටලුවලට විසඳුමක් ලෙස විශ්වාසභංග ගෙන ඒම ප්‍රශ්නවලට විසඳුමක් නොවන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසුවාය. සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ දෙවැනි දින විවාදයට එක්වෙමින් ඇමැතිවරිය මේ බව කියා සිටියාය. ඇමැතිවරිය මෙසේද පැවැසුවාය.
සෞඛ්‍ය ගැන තිබෙන ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්නට විපක්ෂයට හැකියි. කෝප්, කෝපා එකේදී ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න මේ පාර්ලිමේන්තුවට අයිතියක් තිබෙනවා. ඒ හැරෙන්න ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග ගෙනැල්ලා මේ ප්‍රශ්න විසඳීමට නොහැකියි. ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඖෂධ පරීක්ෂාව සඳහා රසායනාගාරයක් නැහැ. මම ඇමැතිවරියව සිටින කාලයේ කැබිනට් පේපර් එකක් දැම්මා ඒ සඳහා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මුදල් රුපියල් බිලියන තුනක් ඉතිරිව තිබුණා. නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ එම රසායනාගාරය හැදීමට ඉඩමකුත් තෝරාගෙන මොරටුව විශ්වවිද්‍යාලයට එහි ඩිසයිනින් භාර දුන්නා. එය හැදීමට එකඟතා ගිවිසුමකුත් අස්සන් කළා. නිවැරැදි විදියට රසායනාගාරයක් හදාගමු. දත්ත නිසි ලෙස කළමනාකරණය කර ගනිමු. මම ඇමැතිවරයාව සිටියදී මෙරට ජීවිත බේරා ගැනීමට මුළුමණින්ම මම වැඩ කළා.