සෞඛ්‍යයට වෙන් කරන මුදල් වාර්ෂිකව ඉහළ නංවා ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවැසුවේය. සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවත් එය අඩියකින් පමණ පස්සට ගැනීමට විපක්ෂය උත්සාහ දරන බවක් ඇඟවුණේ යැයි ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ දෙවැනි දින විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය. ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ ද පැවැසුවේය. විපක්ෂය විශ්වාසභංගය ගෙනාවත් පසුව එය අඩියක් පමණ පස්සට ගන්න උත්සාහයක් ගන්නා බවක් දැක ගන්නට මට ලැබුණා. නමුත් කෙසේ වෙතත් දැන් එය විවාද වෙමින් තිබෙනවා. කුමන රජයක් පැමිණියත් සෞඛ්‍ය සේවාව සඳහා විශාල මුදලක් වැය කරනවා. පසුගිය වසර 6ක කාලසීමාව ගත් විට සෞඛ්‍ය සඳහා ප්‍රතිපාදන ලබාදීම වැඩි කර තිබෙනවා. 1992 වසරේදී මෙරට වෛද්‍යවරුන් සංඛ්‍යාව 3345යි. ලක්ෂයක ජනතාවට වෛද්‍යවරුන් 19ක් 1992 ඉඳලා තිබෙනවා. 2002 වර්ෂය වන විට වෛද්‍යවරුන් 9290ක් රට තුළ සිටියා. ලක්ෂයක ජනගහනයට වෛද්‍යවරුන් 49ක් ඉඳලා තිබෙනවා. 2021 වසර වන විට වෛද්‍යවරුන් 22,009ක් රෝහල්වල සේවය කරනවා. එය ලක්ෂයක ජනගහනයට වෛද්‍යවරුන් 101ක්. වසර 30ක් තුළදී ලොකු ජයක් අපි ලබා තිබෙනවා. 1992 වසරේදී හෙදියන් සංඛ්‍යාව 11,214යි. ජනතාව ලක්ෂයකට හෙදියන් 64යි. 2002 වසර වන විට හෙදියන් 16,517ක් දක්වා වැඩිවෙලා තිබෙනවා. ජනතාව ලක්ෂයකට හෙදියන් 86.9යි. 2021 වන විට ලක්ෂයකට හෙදියන් 225ක් සිටිනවා. සෞඛ්‍යයේ වර්ධනයක් වසරෙන් වසර සිදුවෙලා තිබෙනවා. වසරින් වසර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉහළ ගොස් තිබෙනවා. එය රෝගී ජනතාවට ලබාදෙන නිදහස් සෞඛ්‍ය සේවාවේ ජයක්. වර්ෂ 2015දී ලක්ෂ 63කට වඩා රෝහල්ගත වෙලා තිබෙනවා. රෝහල්ගත වන රෝගීන්ට නිදහස් සෞඛ්‍ය සේවාවක් කරගෙන යන රටක ලබාදෙන සේවාව ඉතා දැවැන්ත කාර්යක්. කොවිඩ් කාලයේ ලක්ෂ 73ක් දක්වා නේවාසිකව ප්‍රතිකාර ලැබීම ඉහළ ගොස් තිබෙනවා. 2021දී ලක්ෂ 53ක් පමණ සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ගෙන තිබෙනවා. අභියෝග තිබියදී සෞඛ්‍ය සේවාව මෙවන් තත්ත්වයක පවත්වාගෙන යාම ගැන සතුටු විය යුතුයි. හොඳ රාජ්‍ය වෛද්‍ය සේවාවක් අපි පවත්වාගෙන යනවා. අධ්‍යාපනය හැරුණු කොට විශාල ආයෝජනයක් කරනුයේ සෞඛ්‍යයට. අතිරේක ප්‍රතිපාදන පවා සෞඛ්‍යයට ලබා දෙනවා. වෛද්‍යවරුන් විදෙස්ගත වීම ගැටලුවක්. සෞඛ්‍ය යනු අත්‍යවශ්‍යම ජනතා සේවාවක්. ඒ නිසා මේ සේවාව ගැන සාවධානව බැලිය යුතුයි.