Home » ණයවර ලිපියක්වත් නිකුත් කළ නොහැකි අවස්ථාවක ඇමැති කෙහෙලිය සෞඛ්‍යයට උපරිම සේවයක් කළා

ණයවර ලිපියක්වත් නිකුත් කළ නොහැකි අවස්ථාවක ඇමැති කෙහෙලිය සෞඛ්‍යයට උපරිම සේවයක් කළා

by mahesh
September 8, 2023 1:00 am 0 comment

ආර්ථික අර්බුදය හා කොවිඩ් තත්ත්වය ඇතුළු විවිධ අභියෝගවලට මුහුණ දෙමින් වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ හැකි උපරිම සේවාව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හා පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉටුකරනු ලැබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා සිදු කරන ලද ඉල්ලීම අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන්කළ හැකි උපරිමය වෙන් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත් සෑම අමාත්‍යාංශයක් සඳහාම වෙන් කරන ප්‍රතිපාදනවලින් සියයට එක බැගින් අඩු කර එයද සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තරම් වෘත්තීය සමිති ඇති වෙනත් ක්ෂේත්‍රයක් නොමැති අතර, පැරණි ක්‍රමවලින් මිදී නව ක්‍රමවේදයන්ට යාමට කටයුතු කරන විට මෙවන් වෘත්තීය සමිති විසින් වීදි සටන් අරඹන බවද හෙතෙම පැවසීය. අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය. පසුගිය වසර තුන ගත්තම සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේ අභියෝගාත්මක වකවානුවක්. පවිත්‍රා වන්නිආරච්චි, කෙහෙළිය රඹුක්වැල්ල යන ඇමතිවරුන් දෙදෙනොම සෞඛ්‍ය අමාත්‍ය්‍යවරුන් ලෙස කටයුතු කළ වකවානුවල අනිත් ඇමැතිවරුන්ට වගේ පහසුකම් තිබුණේ නැහැ. අත්දැකීම් නොමැති කොවිඩ් වගේ අභියෝගවලට පවා මුහුණ දෙන්නට සිදු වුණා. අමාත්‍යවරු ඉන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. සමහර මන්ත්‍රීවරු මෙතන කරන ප්‍රකාශ දැක්කම හි‍ෙතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම් ගැනවත් නොදන්නා බවයි.

ඇතැම් මන්ත්‍රීවරු හිතන් ඉන්නේ ඇමැතිවරයා ගිහින් තමයි ස්ටොක් ගන්නේ, ටෙන්ඩර් ගන්නේ, ඖෂධ පරික්ෂා කරන්නේ කියලා. ඇමැතිවරයාගේ කාර්යභාරය ඒක නෙවෙයි. ඒකට තමයි නිලධාරීන් පත්කර ඉන්නේ. කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇමති ධුරය භාර ගත්ත අවස්ථාව කියන්නේ ණයවර ලිපියක්වත් විවෘත කරන්න බැරි අවස්ථාවක්. එක රැයෙන්, එක පැයෙන් ඇමැතිවරයා නිසා සිදුවූ තත්ත්වයක් කියලා ඇතැම් අය හිතන්නේ. ඒ වගේම මේ වෙනුවෙන් මහ බැංකුව පවා මැදිහත්වීම් සිදු කර තිබෙනවා. පසුගිය වසරේ ඉන්දියාව මූල්‍ය ණය, මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙනකොට යම් යම් කොන්දේසි දානවා. ඒක මම පෞද්ගලිකවම දන්නවා. මෙවැනි ආකාරයට තමයි පසුගිය කාලේ වැඩ කරන්න වුණේ. අපේ ආණ්ඩුවේ ප්‍රධාන කාර්ය වුණේ ඖෂධ සමාගම්වල හිඟ බිල්පත් ගෙවීමයි. ඇතැම් සමාගම්වලින් කිව්වා, අපට හිඟ මුදල් තිබෙනවා කියලා. බිලියන 55කට අධික මුදලක් ගෙවන්න තිබුණා මට මතක විදිහට. මේක ලේසිපහසු නැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රය තරම් වෘත්තීය සමිති තිබෙන ක්ෂේත්‍රයක් මම නම් දැකලා නැහැ. වීදි සටන් තිබෙන්නේ. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. අමාත්‍යවරුන්ට විශ්වාස භංග යෝජනා එන්නේ පැරණි ක්‍රමයෙන් මිදී අලුත් ක්‍රමවලට යන්න ගියොත් ඒ ඇමැතිවරුන්ට විරුද්ධව කටයුතු කරන කණ්ඩායමක් තිබෙනවා. තනතුරු තිබුණත් නැතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් තිබෙනවා.

ඒ වගේම මෙවරත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදු කළ ඉල්ලීම අනුව කිසිඳු පැකිළීමකින් තොරව ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළා. අනෙක් අමාත්‍යාංශවලට වෙන් කරන මුදල්වලින් සියයට එක බැගින් කපාහරිමින් සෞඛ්‍යයට වෙන් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා. සෞඛ්‍ය ක්ෂේත්‍ර‍ෙය් විවිධ අභියෝගවලට මුහුණ දෙමින් කළ හැකි උපරිම දේ කළා. බාල බෙහෙත් ගෙනාවා කියලා කවුරු හරි කියනවා නම් මම නම් ඒක පිළිගන්නේ නැහැ. ඖෂධ ආනයනය කිරීමේදී ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කරන්න අදාළ ආයතන තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT