මත්පැන් භාවිත කර රිය ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා මෙතෙක් කරන ලද පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් හඳුනාගැනීමට විශේෂ පරීක්ෂණ උපකරණ කට්ටලයක් භාවිතයෙන් නියමු ව්‍යාපෘතියක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන කෙළේය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් ඒ සඳහා වූ විශේෂිත පරීක්ෂණ කට්ටල පන්දහසක් (5000) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ප්‍රතිපාදන යටතේ මෙරටට ගෙන්වා ඇත. එම පරීක්ෂණ කට්ටල අතරින් තුන් දහසක් (3000) යොදා ගනිමින් බස්නාහිර පළාත තුළ ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය මගින් මැයි මස 10 වැනිදා සිට ජුලි මස 20 වනදා දක්වා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. එමඟින් හඳුනා ගන්නා ලද රියදුරන් රැසකට රියදුරු බලපත්‍ර අත්හිටුවීම්, දඩ නියම කිරීම සහ සිර දඬුවම් ලබාදීම සිදුකර ඇති අතර අයිස්, හෙරොයින්, ගංජා, මත් පෙති, ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග 06ක් හඳුනා ගැනීමේ හැකියාව මෙම පරීක්ෂණ කට්ටල සතුවේ.
නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මෙරටට ගෙන්වන ලද ඉතිරි පරීක්ෂණ කට්ටල 1975ක් ශ්‍රී ලංකා පොලිසිය වෙත නිල වශයෙන් භාර දීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මෙරට මාර්ග සහ පොදු ප්‍රවාහනය භාවිත කරන මගී ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂාව පිළිබඳ විශාල වගකීමක් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු වගකිවයුතු ආයතන වෙත පැවරෙනවා.
මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම තුළින් පොදු ප්‍රවාහනය භාවිත කරන මගීන් විශාල පිරිසකගේ සහ සමාන්‍ය ජනතාවගේ ජීවිත විශාල අවදානමකට ලක්වනවා. විශේෂයෙන්ම වර්තමානය වන විට සාම්ප්‍රදායික නොවන මත්ද්‍රව්‍ය පවා භාවිත කිරීමට ඇතැම් රියැදුරන් පෙළඹීම ඉතාමත් අනතුරුදායක තත්ත්වයක්. ඒ තුළින් අනෙකුත් සෑම අනතුරකටම වඩා බරපතළ ඛේදවාචක ඇතිවීමේ හැකියාවක් සහ අවදානමක් පවතිනවා.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ විශේෂිත පරීක්ෂණ කට්ටල භාවිතයට යොදා ගැනීම පිළිබඳ ඒ වෙනුවෙන් කැප වූ සියලු අංශවලට මගේ ස්තුතිය පිරිනමනවා. පවතින ආර්ථික දුෂ්කරතා මත ඉදිරියේ දී අමාත්‍යාංශය වෙත මෙවැනි කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ අපහසුතාවක් පවතිනවා. එබැවින් රථවාහන දඩ මුදල්වලින් ශ්‍රී ලංකා පොලිසියට වෙන්වන මුදලින් කොටසක් මෙවැනි උපකරණ ලබා ගැනීම සඳහා වෙන් කරනු ඇති බව මා බලාපොරොත්තු වනවා.”
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න, රථ වාහන, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.