Home » විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු අසාදු ලේඛනගත කළ ලිපිය අකුළාගනී

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු අසාදු ලේඛනගත කළ ලිපිය අකුළාගනී

යළි යවන ලිපියේ කෙටුම්පත අධිකරණයට පෙන්වන්නත් නියෝග

by mahesh
September 8, 2023 12:55 am 0 comment

නෙල්කා මැදගෙදර

නිදහසට කරුණු විමසීමකින් තොරව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු අසාදු ලේඛනගත කරමින් නිකුත් කර ඇති ලිපිය ඉවත් කරගැනීමට ගුවන් හමුදා බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (07) දන්වා සිටියේය.

කිසිදු සාධාරණ හේතුවකින් තොරව තමා අසාදු ලේඛනගත කිරීමට ගුවන් හමුදාපතිවරයා ගෙන ඇති තීරණය හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව තීරණය කරන ලෙසත්, ගුවන් හමුදාපතිවරයාගේ මේ තීරණය අත්තනෝමතික සහ අසාධාරණ බැවින් එමඟින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රු. මිලියන 5ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් සංජීව මහතා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය මේ බව දන්වා සිටියාය.

යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම කැඳවන ලදි. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ පෙත්සම්කරු අසාදු ලේඛනගත කරමින් නිකුත් කර ඇති ලිපිය ඉවත් කර, ඒ වෙනුවට වෙනත් ලිපියක් නිකුත් කරන කිරීමට අපේක්ෂා කරන බවයි. එකී අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බවද ඇය කියා සිටියාය.

පෙත්සම්කරු ප්‍රසිද්ධ වේදිකාවක කථාවක් පැවැත්වීම නිසා ජාතික ආරක්ෂාව සහ අභ්‍යන්තර ආරක්ෂාවට සේවයේ නියුතු නිලධාරීන්ගේ විනය ආරක්ෂා කරගැනීම සඳහා ඔහු අසාදු ලේඛනගත කිරීමට කටයුතු කළ බව ඇය සඳහන් කළාය. ඒ අනුව නැවත නිකුත් කරනු ලබන ලිපියේ කෙටුම්පතක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඬුල්ල නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරියට නියම කළේය.

ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිවරයා, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නීතිපතිවරයා පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින අතර, නීතිඥ සුනිල් වටගල මහතාගේ උපදෙස් මත නීතිඥ විජය බණ්ඩාර මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය. පෙත්සම ලබන ඔක්තෝබර් මස 6 වැනිදා නැවත කැඳවීමට තීරණය කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT