හිටපු කථානායක දේශමාන්‍ය එම්. ඒ. බාකීර් මාකාර් මහතාගේ ගුණ සැමරුම මේ මස10 වැනි දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාති, ආගම්, කුල භේදයකින් තොරව මෙරට ජාතික සමඟිය ඇති කිරීමට ප්‍රභූවරයකු ලෙස නැඟී සිටිමින් උදාර මෙහෙවරක් කළ හිටපු කථානායක එම්. ඒ. බාකීර් මාකාර් මහතා උපත ලැබූවේ 1917 මැයි මස 12 වැනි දින බේරුවල මරදානේදීය.
1949 වර්ෂයේදී නීතිඥයකු වශයෙන් දිවුරුම් දුන් බාකීර් මාකාර් මහතා 1950දී කළුතර නීතිඥ සංගමයේ සභාපති ධුරයට පත් විය. 1949දී බේරුවල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් පත්වන බාකීර් මාකාර් මහතා 1950දී බේරුවල නගර සභාවේ නගරාධිපති ධුරයට පත්විය.
මෙරට ජාතීන් අතර ජාතික සමඟිය ඇති කිරීමට සිහිනයක් ඔහුට තිබිණි. ඒ සඳහා දැඩි කැපවීමකින් ඔහු කටයුතු කළේය. ඒ සඳහා වූ යන ගමනේදී තහංචි අභියෝග පරදවා තම අරමුණ වෙනුවෙන් ඉදිරියට යන්නට නිර්භීතකම ඔහුට තිබුණි. දැනුම් තේරුම් වයසේ සිටම ජාතික සමඟියක සිහිනය හදවතේ තිබූ බාකීර් මාකාර් තරුණ වියට පා තබත්ම ඒ සම්බන්ධව ක්‍රියා කිරීමට පියවර ගත්තේය. සිය ජීවිතයේ පළමු අවස්ථාව ලද තරුණ නගරාධිපති බාකීර් මාකාර් සිංහල රජ බස විය යුතු බවට යෝජනාවක් නගර සභාවේ දී ගෙන ආවේ ජාතික සමඟියට ඔහු තුළ තිබූ දැඩි කැමැත්ත නිසාය. මෙරට ප්‍රථම වරට නගර සභාවකින් මෙවැනි යෝජනාවක් සම්මත කර ගත්තේ නගරාධිපති බාකීර් මාකාර් මහතාය.
මේ මහ පොළොවේ අයිතීන් බෙදා ගැනීමට ජාතීන් අතර ඇති වී ඇත්තා වූ අසමඟිගිය දකින බාකීර් මාකාර් මහතා සියලු සුළු ජාතිකයන් මහා ජාතීන් සමඟ සුහදව ක්‍රියා කිරීමට සිංහල උගත යුතු යැයි හඬක් මෙරට පුරාගෙන ගියේය. මේ සඳහා සිය වියදමෙන් ‘යෙන් සිංහලම්’ ‘ඇයි අපට සිංහල’ යනුවෙන් පොතක් දෙමළ බසින් මුද්‍රණය කර රට පුරා සුළු ජාතීන් අතර බෙදා හැරියේය. මෙයට කොතරම් විරෝධය ආවද බාකීර් මාකාර් මහතාට එදා කිසිම දෙමළ පුවත්පතකින් මුදල් ගෙවා හෝ දැන්වීමක් පළ කරවා ගැනීමට නොහැකි විණි.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතුය යන යෝජනාව ගැන සාකච්ඡා කර තීරණයක් ගැනීමට සමස්ත ලංකා මුස්ලිම් සංගමයත්, සමස්ත ලංකා යෝනක සංගමයත්, විසිපස් දෙනා බැගින් නියෝජිතයන් පනස් දෙනෙක් කැඳවූහ. මේ අයගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වු අතර, මෙහිදී බලවත් විරුද්ධ අදහස් පැන නැඟුණි. සිංහල දෙමළ භාෂා පිළිබඳව සමතැන ගැන ද කරුණු ඉදිරිපත් විය.
වාද විවාද තර්ක විතර්ක මැද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතුය යන යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත් කිරීමට බාකීර් මාකාර් මහතාට අවස්ථාව ලැබිණි. ඔහු තර්ක විතර්කවලට පිළිතුරු දෙමින් ඉතිහාස ගැන කරුණු ගෙනහැර පාමින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතු බවට කරුණු ඉදිරිපත් කළේය.
ඔහුගේ දේශනයෙන් පසු දිවා භෝජනය පැවැත්විණි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතුය යන යෝජනාවට පක්ෂව ඡන්ද විමසීම අනතුරුව සිදු විය. ඒකච්ඡන්දයෙන් එම යෝජනාව සම්මත වීම එදා ඔහු ලද විශිෂ්ට ජයග්‍රහණයක් විය. පාර්ලිමේන්තුවේ සභාගැබට මුලින්ම පා තැබූ බාකීර් මාකාර් මහතා සිය මංගල කතාව අරඹමින් ජාතික සමඟියක ඇති වැදගත්කම මුළු රටටම හඬනඟා පැවැසුවේ මෙසේය.
(උපුටා ගැනීම පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව 1960.04.22)
අපේ රට සම්මිශ්‍ර එකක්. එකමුතු බවින් යුතුව එක් හඬක් නඟන වෙන් නොවිය යුතු රටක් විය යුතුය. සැවොම එකට බැඳුණු රටක් ලෙස සිටිය යුතුය යන්නය. එය තමයි බුද්ධිමත් සාමාන්‍ය ප්‍රජාවන්ගේ අදහස හා අභිමතය. ඔවුන් අපේක්ෂා කරනු ලබන්නේ වෙන්වුණු කොටස්වලට කැඩුණු ශ්‍රී ලංකාවක් නොවේ. එක් ජාතියක් ලෙස ශ්‍රී ලංකාවේ එකට ජීවත් විය යුතු එක භාෂාවක් කතා කරන ප්‍රජාවක් ලෙස සිටිය යුතු බවයි. මා මේ පිළිබඳව පෙන්නුම් කරන්නම්. සිංහල ජනතාව කොතරම් උදාර ලෙස ජීවත් වෙනවාද කියා සිංහල භාෂාව කතා කරන මිනිසුන් ජීවත් වන ප්‍රදේශයක සිටින මා දන්නවා සිංහල මිනිසුන් කොතරම් වැදගත් ලෙස ජීවත් වෙනවාද කියලා.
සිංහල ජාතිකයන්ට සිංහල රාජ්‍ය භාෂාව ලෙස පාවිච්චි කිරීම පිළිබඳව දොස් පවරන්නේ ඇයි? මේ කුඩා දිවයිනේ සිංහල ජනතාවගේ කැමැත්ත නොමැතිව තීරණවලට එළැඹීම සාධාරණ නොවේ. ජාතියේ අනාගතය සලකා සියලු දෙනාම එක භාෂාවක් සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කළ යුතු වෙනවා. එකට බැඳුණු කුඩා වුවත් එක්සත් ජාතියක් ගොඩනැඟීම අරමුණ විය යුතු වෙනවා. ‘මම මුස්ලිම් ජාතිකයකු වීම ආඩම්බරයක්’ ‘ශ්‍රී ලාංකිකයකු වීම ආඩම්බරයක්’ අපි මුස්ලිම්වරුන් විදිහට මිත්‍රත්වයේ දෑත් සියලු වාර්ගිකයන්ට දිගු කරන්නේ ඔවුන් සියලු දෙනා එක් ජාතියක් ලෙස සලකන නිසාය.
ඔහු කිසි දිනෙක ආගම්වාදියෙක් වූයේ නැත. ජාතිවාදියකු වූයේ නැත. ජාතික සමඟිය ඇති කරවීම සඳහා මහඟු සේවයක නිරත වූ බාකීර් මාකාර් මහතා නිලයට, බලයට ගිජුකමින් කිසි දිනෙක ප්‍රතිපත්ති පාවා දී නොමැත. ශ්‍රේෂ්ඨ මිනිසා අරමුණු අතින් සාධාරණය. ක්‍රියාවෙන් කාරුණිකය. තනතුරින් නිහතමානී වේ. මෙවැනි ශ්‍රේෂ්ඨ දේශපාලනඥයකු වූ බාකීර් මාකාර් මහතා දේශපාලන දිවිමඟේ අඩ සියවසකටත් වැඩි කාලයක් කළ උතුම් ජන මෙහෙවර අවසන් කරමින් 1993 දෙසැම්බර් මස 21 වැනි දින දේශපාලන දිවියෙන් සමු ගත්තේය.
නාගරික මන්ත්‍රීවරයකු, නගරාධිපතිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය කථානායකවරයකු, කථානායකවරයකු, කැබිනට් ඇමැතිවරයකු සහ ආණ්ඩුකාරවරයකු වශයෙන් ඔහු කළ සේවාවත්, ජාතික සමඟිය වෙනුවෙන් මුළු රට පුරා ජාතීන් අතර ගෙන ගිය හඬත් අතිවිශිෂ්ටය. බේරුවල වැනි ප්‍රදේශයක ජාතික සමඟිය රැක ගනිමින් ඔහු කළ සේවාවත්, එතුමන්ගේ ගුණානුස්මරණ දිනය සමරන බේරුවල ජනතාව හා ඔහු කළ සේවා අගයන මෙරට ජනතාවත් එය සෙනෙහෙබර සිතින් සමරනු නියතය.
මේ මිහිතලේ උපන් මා එහි මිහිදන් වීමට ප්‍රථම මහ ජනතාවට යම් සේවාවක් කළ යුතුය. එමෙන්ම සියලු ජාතීන් අතර ජාතික සමඟිය ඇති කිරීමට කටයුතු කළ යුතුය. එය මට හැකි පමණින් මම ඉටු කළෙමි. ජීවිතයට සමු දෙන්නට මට ඇත්තේ ස්වල්ප කාලයකි. මාගේ ආදරබර පුතුන් දෙදෙනාත්, දියණියන් සය දෙනාත් එය ඉටු කරන්නේ නම් එයට වඩා සැනසීමක් මට අත් නොවනු ඇත. ඒ මාර්ගය මාගේ දරුවන්ට මම පෙන්වා දුනිමි. මාගේ දරුවන් ද මගේ මුණුපුරන්ට ඒ යහ මඟ පෙන්වනු ඇතැයි මම විශ්වාස කරමි.
මගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන පුතෙක් මට ලැබීම භාග්‍යයකැයි සිතූ මොහුගේ දෙකම්මුල් දිගේ සතුටු කඳුළු වැගිරෙන්නට විය. එකවරම දෑස් විවර කර තම පුතු ඉමිතියාස්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා බැලූ මේ ජන නායකයා, මෙතෙක් කළ ජන මෙහෙවර හා ජාතික සමඟිය ඉදිරියට ගෙන යෑමට තම පුතුගේ දෑත මත තබා 1993 සැප්තැම්බර් මස 10 වැනි දින රාත්‍රියේ ජනතා සේවය වෙනුවෙන් විවර වූ වටිනා දෑස් සදහටම පියාගත්තේය.
ජිනසේන වේලාරත්න