රංචුවේ සිටින ශක්තිවන්තයා තමා බව පෙන්වීමට මාසයක කාලයක් තිස්සේ විටින් විට අලියකු සහ ඇතකු අතර පැවති ද්වන්ධ සටනක් පෙරේදා (04) දිනයේද මිහින්තලේ, තම්මැන්නාව, තෙලටියගල රක්ෂිතයේදී දැක ගත හැකි විය.
මේ සටන ඔවුන් අතර වරින්වර පසුගිය මාසයකට ආසන්න කාලයක් පුරා සිදු වන බව ප්රදේශවාසීහු පවසති. පසුගිය කාලය පුරා මේ සතුන් දෙදෙනා කුංචනාද කරමින් රාත්රියේ සහ සවස් කාලයේ සටන් වදින අතර පසුගියදා (04) සවස් කාලයේද රක්ෂිතය දෙවනත් කරමින් සටන ඇවිළුණු බව ප්රදේශවාසීහු පවසති. මෙලෙස සටන් වැදි කාලය පුරා සටන නැරඹීමට වන අලින් විශාල පිරිසක් පැමිණි බවද ප්රදේශවාසීහු කියති.
රංචුවේ සිටින ශක්තිවන්තයා තමන් බව පෙන්වා ගැහැනු සතුන්ගේ ආදරය දිනා ගැනීමට අලි ඇතුන් මෙලෙස සටන් වදින බව මේ සම්බන්ධව වනජීවී නිලධාරියකුගෙන් විමසීමකදී සඳහන් කළේය. මේ සටන් නැවැත්වීමට අලි රංචුවේ කිසිවකු පියවර නොගන්නා බවත්, සටන අවසානයේදී එක් අලියකු මරණයට පත්වී සටන අවසන් වන අවස්ථා බොහෝමයක් පසුගිය කාලය පුරාවට වාර්තා වූ බවද නිලධාරියා සඳහන් කළේය.