ලෝකයේ හොඳම කෝපි විශේෂ අතර ප්‍රමුඛත්වය ගන්නා ශ්‍රී ලංකාවේ කෝපි, අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳ පොළට හඳුන්වාදීමෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් උපයා ගත හැකි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති Khaled Al Ameri මහතා අවධාරණය කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සහ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අතර හමුවක් පෙරේදා (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති අවස්ථාවේදී තානාපතිවරයා මේ බැව් පෙන්වා දුන්නේය.
එහිදී මෙරට කෘෂිකර්ම අංශය නවීකරණය හා පොහොර සම්පාදනය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබු අතර ,ජාත්‍යන්තර වෙළෙඳ පොළට හඳුන්වාදීම සඳහා මෙරට කෝපි වගාව පුළුල් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කෙරිණි.
කෘෂි අංශ නවීකරණය හා මෙරට කෘෂි නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් අපනයනය ඉලක්ක කර සැකසීමේ රජයේ වැඩපිළිවෙළ ගැන කෘෂිකර්ම ඇමැතිවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.
‘අපේ රටේ පලතුරු හා එළවළු විශාල ප්‍රමාණයක් මේ වන විට අපනයනය කරනවා. විශේෂයෙන් මෙරට කෙසෙල් හා අඹ සඳහා විදේශ වෙළෙඳ පොළේ ඉල්ලුමක් පවතිනවා. දැනට රාජාංගණය හා යාපනයේ වගා කරෙන ඇඹුල් කෙසෙල් ඩුබායි හා තවත් රටවල් කීපයකට අපනයනය කරනවා. වෙනත් රටවලින් ද ලොකු ඉල්ලුමක් ඇති නිසා තවත් කෙසෙල් වගා කලාප දෙකක් හම්බන්තොට, ඇඹිලිපිටිය හා සෙවණගල ප්‍රදේශ ආශ්‍රිතව ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබෙනවා යැයිද කෘෂිකර්ම ඇමැතිවරයා මෙහිදී තානාපතිවරයාට කරුණු පැහැදිලි කළේය.
මෙහිදී අදහස් පළ කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ කෝපි පිළිබදව ඇගැයීමක් කළේය.’ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි විශේෂ අතර තබන්න පුළුවන්. අරාබි රටවල ශ්‍රී ලංකාවේ කෝපි ඉතාමත් ජනප්‍රියයි. අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් මෙරට කෝපි විදේශ වෙළෙද පොළට හඳුන්වා දෙන්නේ නම් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකියි. ඒ වගේම මෙරටට අවශ්‍ය යූරියා පොහොර හා අනෙකුත් පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට අවශ්‍ය සහයෝගය ද ලබා දිය හැකියි’ යැයිද තානාපතිවරයා පැවසීය.