දුම්රිය ඈත එන විට ඔහු පාර හරහා මුහුදු පැත්තට දිව ගියා. පසුව ආපසු හැරි ඇවිත් එක්වරම දුම්රිය මාර්ගයේ හිට ගත්තා. කීපවරක් නලාව නාද කළත් දුම්රිය මාර්ගයෙන් ඉවත් වුණේ නැහැ. කෝච්චිය සමීප වන විටත් ඔහු එදෙසම නොසෙල්වී බලාගෙන සිටියා.
බම්බලපිටියේදී දුම්රියට පැන සියදිවි නසාගත් අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හදිසි මරණ පරීක්ෂක එම්. අෂ්රෆ් රූමි මහතා ඉදිරියේ පසුගියදා (06) පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් දුම්රිය රියැදුරු අනුර බණ්ඩාර ( 57) සාක්කි දෙමින් පැවසීය.
එහිදි වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඔහු මෙසේ කීය.
පසුගිය පස්වැනිදා මා අලුත්ගම කොළඹ මන්දගාමී දුම්රියේ රියැදුරු ලෙස ක්‍රියා කළා. දුම්රිය බම්බලපිටියට එනවිට පස්වරු 3.45 පමණ වුණා. බම්බලපිටියත් කොල්ලුපිටියත් අතර තැනක පාර සමීපයේ මියගිය අය ඇවිද ගෙන යනවා මා ඈතදීම දුටුවා. කීපවරක් නලාව නාද කළත් ඔහු ඒ ගැන අවධානයක් දැක්වූයේ නැහැ. දුම්රිය මාර්ගයේ හිට ගත්තා.
මන්දගාමී දුම්රිය නිසා හෙමින් ආවේ. ඔහු කෝච්චියේ ගැටී පිල්ල මතට වැටුණා. හිස කඳින් වෙන් වුණා. පොලිසිය පැමිණ දේහය රැගෙන ගියා.
මෙහිදී සාක්ෂි දෙමින් මියගිය අයගේ බිරිය වන ඒ.පී. දිනූෂා උදයංගනී ( 39) මෙසේ කීවාය. මියගොස් සිටින්නේ මගේ සැමියා. ඔහු ඉස්ලාම් භක්තිකයෙක්. මාත් විවාහයෙන් පසු එම ආගම වැළඳ ගත්තා. දැන් මගේ නම ෆාතිමා අස්මාන්. අපට දරුවන් තිදෙනකු සිටිනවා. ඔවුන් සියලු දෙනාම පාසල් යන වයසේ දරුවන්.
මගේ සැමියා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියා. ඔහු පසුව අයිස් මත්ද්‍රව්‍යවලටත් හුරු වුණා. ඉන්පසු ඔහුගේ හැසිරීමත් වෙනස් වුණා. පසුගිය දිනවල ඔහු ගොඩක් කලකිරීමෙන් හිටියේ. පවුල පිටින්ම මැරෙමු කියලා කිව්වා. ඒ හැම අවස්ථාවකම ඕනෑම දෙයකට මම ඉන්නවා කියා එයාට මම කීවා.
සැමියා රස්සාවක් විදියට රේගුවෙන් ලිපි නිෂ්කාෂණය කරදීම කළා. ඔහු එදත් රස්සාවට යනවා කියලා ගියා. ඔහු කලකිරීමෙන් සිටි නිසා සැමියා සමඟ යන්න කියා මම මස්සිනාට කීවා. ඒ දෙන්න ගියා. මම එයාගේ ජංගම දුරකථනයට කීපවරක් කතා කළත් උත්තර දුන්නේ නැහැ. අද උදේ පොලිසිය මට කතා කර එන්න කිව්වා. එහිදි සැමියා මියගොස් ඇති බව දැන ගත්තා. මියගිය අයගේ මස්සිනාවූ රාජේන්ද්‍ර ප්‍රසාන් සාක්ෂි දෙමින් මෙසේ කීය. “මියගොස් ඇත්තේ මගේ බිරියගේ සොහොයුරියගේ සැමියායි. 5දා දහවල් 12.00ට පමණ නංගි කතා කර මියගිය අය සමඟ ඔහුගේ කාර්යාලයට යන්න කීවා. ඔහු සවස් වනතෙක් එහි රැඳී සිටියා. සවස 2.30 පමණ හදිසියේම ත්‍රීරෝද රථයක් ආවා. ඔහු එහි නැඟීයෑමට සැරසුණා. මමත් එයට නැඟීමට උත්සාහ කළත් ඔහු එයට ඉඩ දුන්නේ නැහැ.
පසුව රෑ වුණත් ඔහු ආවේ නැහැ. මම කීපවරක් කතා කළා. ඔහු උත්තර දුන්නේ නැහැ. පසුව ඔහු මිය ගොස් ඇති බව දැන ගත්තා යැයි පැවසීය.
හදිසි මරණ පරීක්ෂණය කළ කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හදිසි මරණ පරීක්ෂක එම්. අෂ්රෆ් රූමි මහතා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කළේය.