නියඟයෙන් හානියට පත් මුළු වගා බිම් ප්‍රමාණය මේ වන විට අක්කර 61,803ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් බලපෑමට ලක්ව සිටින ගොවීන් ප්‍රමාණය 63,156ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා වෙත ලබා දුන් දෛනික තක්සේරු වාර්තාව සඳහන් කරයි.
මේ හානියට පත් මුළු වගා බිම් ප්‍රමාණයෙන් අක්කර 61351.47ක් වී වගා කළ කුඹුරුය.
පසුගිය 05දා වන විට මේ තත්ත්වය වාර්තා වී ඇති අතර, වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තවදුරටත් වාර්තා වේ. එම ප්‍රමාණය අක්කර 26,813. 67කි. බලපෑමට ලක්ව ඇති ගොවීන් ප්‍රමාණය 32,245කි. දෙවන ස්ථානයට වැඩිම කුඹුරු ප්‍රමාණයක් වාර්තා වන්නේ උඩවලව කලාපයෙනි. එය අක්කර 14,810.13ක් වන අතර, බලපෑමට ලක්ව ඇති ගොවීන් ප්‍රමාණය 11,651කි.
මෙවර යල කන්නයේ වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් පන්ලක්ෂ තුන්දහසකි. දැනට වගා හානි වාර්තා වන ආකාරය අනුව නියඟය නිසා අවම වශයෙන් අක්කර 70,000ක් පමණ හානියට ලක්ව ඇතැයි අනුමාන කෙරේ.
මේ වගා හානිවල ස්වභාවය අනුව වැඩිම වගා හානි වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හා අනෙකුත් ප්‍රදේශවල කුඩා වැව් යටතේ වගා කරන ලද කුඹුරුය. මේ හැර උඩවලවේ ජලාශය යටතේ වගා කරන ලද කුඹුරු ද වැඩිම අස්වැන්නක් රටට දෙන කුඹුරු බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම මහවැලි හා අනෙකුත් ප්‍රධාන ජලාශ යටතේ වගා කරන ලද කුඹුරුවලින් ඉහළම අස්වැන්නක් ලැබී ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද මේ වගා හානි මඟින් රටේ සහල් අවශ්‍යතාවට බලපෑමක් එල්ල නොකරන අතර, ලබන මහ කන්නයේ වී අස්වනු නෙළාගන්නා තෙක් අවශ්‍ය සහල් හා වී තොග රටේ පවතී. මේ අතර කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමට සූදානම් නමුත් ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට වී ලබා නොදෙන බවයි. කවර අවස්ථාවක වුවත් අවශ්‍ය ප්‍රමාණයකින් වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් බවත්, වී අලෙවි මණ්ඩලයේ සෑම වී ගබඩාවක්ම විවෘතව තැබීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි. නමුත් දැනට රජය සතුව වී සහ සහල් සංචිත නැති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.