Home » වෙඩික්කරු ආ යතුරුපැදියේ පැහැය-අංක වෙනස් කර දුන් තැනැත්තා කොටු කරගනී
රත්මලානේ කුකුළු මස් මස් කඩ හිමිකරු ඝාතනය:

වෙඩික්කරු ආ යතුරුපැදියේ පැහැය-අංක වෙනස් කර දුන් තැනැත්තා කොටු කරගනී

ඝාතනයට ගොනාකෝවිලේ කුඩු අංජුගෙනුත් උපදෙස් ලැබිලා

by mahesh
September 8, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට ඇති කුකුළු මස් අලෙවි ස්ථානයකදී එහි එහි හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවා පැමිණි යතුරුපැදියේ චැසි අංකය සහ පැහැය වෙනස් කර වෙඩික්කරුට දුන් පුද්ගලයාව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පෙරේදා (06) අත්අඩංගුවට ගෙන තිබේ.

අංගොඩ පදිංචිකරුවකු වන 32 හැවිරිදි මේ සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ යතුරුපැදියේ දුම් සහතිකයත් එංජින් අංක සහ චැසි අංක වෙනස් කිරීමට යොදාගත් උපකරණත් සොයාගෙන ඇත.

රත්මලාන, එස්. වීරසේන සිල්වා මාවතේ පදිංචිකරුවකු වූ එස්.ඒ. දේශප්‍රිය (40) නමැති මස්කඩ ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ අගෝස්තු 21 ය. යතුරුපැදියකින් වෙඩික්කරු සහ තවත් අයකු පැමිණ මස්කඩ ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත්තේ යතුරුපැදිය අඟුරුවාතොට ප්‍රදේශයේ ඇළකට දමාය. අගොස්තු 22 දා ඒ යතුරුපැදිය පොලිසිය විසින් සොයාගන්නා ලදුව රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර තිබිණි. එහිදී රස පරීක්ෂකවරයා පවසා ඇත්තේ යතුරුපැදියේ පැහැය එංජින් අංකය, චැසි අංකය වෙනස් කර ඇති බවයි. මෙහිදී එංජින් අංක 4ක් වෙනස් කර නැති බව පැවස‍ූ රස පරීක්ෂකවරයා ඒ අංක පොලිසියට දී තිබිණි.

මේ යතුරුපැදි වර්ගය මෙරටට ගෙන්වා බෙදාහරින සමාගමට ගිය පොලිස් නිලධාරීන් කළ පරීක්ෂාවකදී අදාළ සමාගම විසින් බෙදාහැර ඇති යතුරුපැදි 11,000කට වැඩි ප්‍රමාණයක තොරතුරු සොයාගැනීමට හැකිව ඇත. ඒ යතුරුපැදිවලින් ලියාපදිංචි කර තිබී ඇත්තේ යතුරුපැදි 6000ක පමණ ප්‍රමාණයක් වූ බැවින් එම යතුරුපැදිවල එංජින් අංක සහ චැසි අංක සම්බන්ධයෙන් යම් සංඛ්‍යානමය විමර්ශනයක් කර තිබේ. ඒ ඔස්සේ සැකකටයුතු යතුරුපැදියක් හඳුනාගෙන එහි ලියාපදිංචි හිමිකරු සොයා පොලිසිය අංගොඩ ප්‍රදේශයට ගොස් ඇත. ඒ පුද්ගලයා යතුරුපැදිය දෙමටගොඩ අයකුට ඒ වන විට අලෙවි කර තිබී ඇත. ඒ පුද්ගලයාද සොයාගෙන ඇති පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ කටුබැද්දේ අයකුට ඒ යතුරුපැදිය අලෙවි කර ඇති බවයි. මේ යතුරුපැදියේ පැහැය සහ චැසි සහ එංජින් අංක වෙනස් කර ඇත්තේ ඒ පුද්ගලයා විසින් බවද අනාවරණය වී ඇත. යතුරුපැදිය දෙමටගොඩ පුද්ගලයාගෙන් මිල දී ගෙන ඇත්තේද සැබෑ අනන්‍යතාව සඟවා බවද අනාවරණය වී තිබේ.

මේ යතුරුපැදියේ පැහැය සහ එංජින් සහ චැසි අංක වෙනස් කර ඇත්තේ ඩුබායි සිට ඇල්ටෝ ධර්මේ යන කුඩු පාතාලයට සම්බන්ධ ප්‍රබලයාගේ මෙහෙයවීමෙන් බවත්, මේ කුකුළු මස් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට ප්‍රංශ අත්අඩංගුවේ සිටින ගොනාකෝවිලේ කුඩු අංජුගේද උපදෙස් ලැබී තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ප්‍රංශ බන්ධනාගාරයේ රඳවා සිටින කුඩු අංජුට දුරකතන භාවිත කිරීමට පහසුකම් ලැබී ඇති බවත් ඒ දුරකතන පහසුකම් යොදාගෙන ඔහු මෙරට ඔහුගේ ගෝලබාලයන්ට ඇමතුම් ගන්නා බවත් විමර්ශනවලදී පෙනී ගොස් තිබේ. කුකුළු මස් ව්‍යාපාරිකයාට වෙඩි තැබූ වෙඩික්කරු සහ ඊට සම්බන්ධ බොහෝ අයගේ තොරතුරු පොලිසියට ලැබී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අය අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT