Monday, April 21, 2025
Home » පෞද්ගලික බැංකුවකින් කෝටි 55ක් ඇද්දැයි 17 වැනි සැකකරුට දැඩි ඇප කොන්දේසි

පෞද්ගලික බැංකුවකින් කෝටි 55ක් ඇද්දැයි 17 වැනි සැකකරුට දැඩි ඇප කොන්දේසි

by mahesh
September 8, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

පෞද්ගලික බැංකුවක දත්ත සඳහා අනවසරයෙන් පිවිස, වීසා ඩෙබිට් කාඩ් උපයෝගි කරගනිමින් රුපියල් කෝටි පනස් පහකට අධික මුදලක් (559326421.69ක්) වංචා කළ සිද්ධියේ 17 වැනි සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කල්මුනේ පදිංචිකරුවකු වන තුරෙයිරාජා යන අය රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු අතර ඔහුගේ ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවත් සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන් සිව් දෙනකුගේ විදේශ ගමන් තහනම ඉදිරි දින දක්වා ඉවත් කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබා දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති එක් සැකකරුවකු මිය ගොස් ඇති බවට ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරන බව දන්වා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධි‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 16 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ඇප මත මුදා හැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර දෙසැම්බර් මස 06 වනදා අධිකරණයට දන්වා සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT