වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවෙසකට ප්‍රහාරයක් එල්ල කර අඹු සැමි යුවළක් ඝාතනය කර නව දෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ ගිණුමට රුපියල් ලක්ෂ දහයක මුදලක් බැර කර ඇති බවට ඊයේ(07) පැවති නඩු විභාගයේදී තොරතුරු අනාවරණය විය.
මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බන්ධනාගාර ගත කර සිටි කාලයේදී බන්ධනාගාරයේ සිට රහසිගතව භාවිත කරන ලද දුරකතනයකින් ඇමතුම් 3245ක් ලබාගෙන ඇති බවටද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.
මේ හේතූන් මත දැනට මාස දෙකක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනාට ඇප ලබාදීම වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ් මහතා විසින් ප්‍රතික්ෂේප කළේ පොලිසියේ දැඩි ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
සැකකරුවන් හය දෙනා මේ මස 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් මීට පෙර ලබා දුන් නියෝගය ද තවත් මාස තුනක කාලයකට මෙහිදී දීර්ඝ කළ අතර සිද්ධියට සම්බන්ධ බවට පොලිසිය විසින් සී.සී.ටී.වී. කැමරා දර්ශන මඟින් හඳුනාගෙන ඇති සෙසු සැකකරුවන් හතර දෙනාද අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.