ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට අනුයුක්තව සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයකුට මඟී බස් රථයකදී පහරදුන් පුද්ගලයකු බොරලැස්ගමුව පොලිසිය පෙරේදා (06) අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
මේ නිලධාරියා පදිංචිව සිටින්නේ නෑබොඩ ප්‍රදේශයේය. එහි සිට ඔහු රාජකාරි කටයුතු සඳහා වාර්තා කිරීමට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු මඟී බස් රථයක නැඟී ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ඔහු ලක්ව තිබේ.
ඒ වන විට මගීන්ගෙන් බස් රථය පිරී තිබී ඇති බවත් තදබදය සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවුණු බහින්බස් වීමක් දුරදිග යමින් මෙම පහරදීම සිදුව ඇති බවත් පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව පරණ පොලිසිය පාරේ පදිංචිකරුවෙකි.