කටුනායක මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ, ආඬිඅම්බලම ප්‍රදේශයේ පිහිටි ටයර් වෙළෙඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා කාර් රථයක් සොරකම් කළ සැකකරුව එළඹෙන 18 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය පෙරේදා (06) නියම කළාය.
කටුනායක, වල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හසිත නුවන් වරාගොඩ නමැති සැකකරුව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ මෝටර් රථයට සැකකරු හිමිකම් නොකියන බවට අධිකරණයේ දී සඳහන් විය. කාර් රථය විකිණීම, අන්සතු කිරීම සහ පාට වෙනස් කිරීම ඇතුළු තවත් කොන්දේසි ඇතුළත්ව රුපියල් ලක්ෂ 35ක බැඳුම්කරයක් මත කාර් රථය හිමිකරුට මුදාහරින ලෙසට නියම විය.
පැමිණිලිකරු ටයර් කඩේ හිමිකරු විය. පැමිණිලිකරු අත්‍යවශ්‍ය ගමනක් කාර් රථයෙන් ගොස් නැවත ආපසු පැමිණ ටයර් කඩය ඉදිරිපිට කාර් රථය නවතා තබා ඇති බව පොලිසිය පවසයි.
කාර් රථය පණ ගන්වන යතුර කාර් රථ තුළම තිබී ඇති බවද පොලිසිය පැවසීය.
සුළු කාලයක් එම ටයර් කඩේ සේවකයෙකු ලෙස සේවය කර ඇති සැකකරු කාර් රථය සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය කරගෙන ඇති කටුනායක පොලිසිය කාර් රථයේ අංකය සමඟ සියලු විස්තර සියලු පොලිස් ස්ථානවලට ලබා දීමට කටයුතු කර තිබූ බවට අධිකරණයේදී සඳහන් විය.
කටුනායක පොලිසිය මඟින් ලබා දී තිබූ කාර් රථයේ විස්තර අනුව විමසිලිමත්ව සිටි මීගමුව කොට්ඨාස විශේෂ යතුරුපැදි ඒකකයේ සැරයන් රත්නායක (58629) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කාර් රථය මහා මාර්ගයේ ගමන් කරමින් තිබියදී සැකකරු සමඟ අත්අඩංගුවට ගෙන තිබූ බවටද අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් විය.