Home » සකිසඳ අද බිත්ති හතර

සකිසඳ අද බිත්ති හතර

by mahesh
September 8, 2023 1:00 am 0 comment

රජිත බස්නායක

සෙනෙහසක් පතාගෙන
අනන්තවූ ගමන් මඟ
නොසිත් ලෙස අතරමඟ
නිමවුණේ මරු වැලඳගත් සිරුරකින්දෝ
අලුත බිලිවූ සිරුරකින්දෝ

බණ්ඩාර කේ. විජේතුංගයන් රචනා කළ ඩබ්.ඩී. අමරදේවයන් විසින් ගායනා කරන මෙකී ගීතයට තේමා වූයේ පරාක්‍රම ද සිල්වාගේ ‘බිත්තිහතර‘ චිත්‍රපටයටයි. කළු සුදු වර්ණයෙන් නිමැවූ මෙම චිත්‍රපටය තිරගත වූයේ 1982 නොවැම්බර් 05 වන දින ලාංකේය සිනමා ඉතිහාසයේ 536 වැනි චිත්‍රපටය ලෙසිනි. 35 මිමී චිත්‍රපටයක් වූ බිත්තිහතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට මූලික වූයේ එච්.ඩී. ප්‍රේමසිරිය. බිත්තිහතර චිත්‍රපටයට පාදක වූයේ සුගතපාල ද සිල්වා විසින් ප්‍රකාශයට පත් කළ බිත්තිහතර නවකතාවයි.

ප්‍රධාන නළුවා ලෙසින් නීල් අලස් චිත්‍රපටය සමඟ සම්බන්ධවීම ඔහුට විශේෂත්වයකින් යුක්ත විය. මන්ද යත් 1980 දශකයේදී නීල් අලස් චිත්‍රපට ක්ෂේත්‍රය හා සම්බන්ධවීමේදීම ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් පස්දෙනෙකු සමඟ චිත්‍රපට පහක් සඳහා ගිවිසුම් අත්සන් කර තිබුණාය. ඉන් එක් චිත්‍රපටයක් වන්නේ ‘බිත්තිහතර‘ චිත්‍රපටයයි. එය ඔහු ගිවිසුම් ගතවූ චිත්‍රපට පහෙන් පළමුවර ගිවිසුම් ගත වූ චිත්‍රපටයයි. එවක පළවූ පුවත්පත් සඳහා නීල් අලස් ප්‍රකාශ කර සිටියේ කාලයක් යනතුරු, බිත්තිහතර චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් තුළින් මැකී නොයනු ඇති බවයි.

චිත්‍රපටයේ ඔහු පෙනී සිටි චරිතය වන්නේ සේපාලය. ඔහුට ආදරයට කීවේ පාලය. සිකුරා තිබුණේ සේපාලගේ නළලේ කොටායි. ප්‍රේමය වෙනුවෙන් ඔහුට ගමද නගරයද කියා ඔට්ටුවන්න වුවමනාවක් තිබුණේම නැත. ගමද, නගරයද, එහෙද, මෙහෙද, නොව ප්‍රේමය හැසිරුණේ සේපාලට ඕනා ලෙසය. ස්වර්ණා මල්ලවාරච්චිට අමතරව වසන්ති චතුරාණි ද බිත්තිහතර චිත්‍රපටය සඳහා සම්බන්ධ විය.

වසන්ති චතුරාණි ද බිත්තිහතර චිත්‍රපටය තිරගතවන සමයේ 1980 නොවැම්බර් මස පළවූ සරසවිය පුවත්පතට තම චරිතය සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කර සිටියාය.

“බිත්තිහතර චිත්‍රපටයට පෙර තමා රඟපෑ චරිත හඬනඟා සිනානොවන තරමේ පවා තැන්පත් චරිත. නමුත්, බිත්තිහතර චිත්‍රපටයේ තමාට ලැබුණේ ඉතා දඟකාර චරිතයක් බවයි. නානාප්‍රකාරයේ විලාසිතා ඇඳුම් සහ හිසකේ විලාසිතාවලින් පවා තරුණයකුගේ අවධානය යොමුවන ආකාරයේ හැසිරීමක් සහිත චරිතයක් ඇයට ලැබී ඇති බවයි. මල්ලිකාගේ චරිතය තමාට ලැබුණු අපූරු චරිතයක් බවත්, විවාහයට පෙර ඇයද මල්ලිකා මෙන්ම මිතුරු මිතුරියන් සමඟ කෙළිදෙලෙන් ගත කළ කාලයක් තමාටද තිබූ බවය.

අතීත සිහිනය මියයන්නේ
නිරුදක කතරක සටහන් සේ

නීලා වික්‍රමසිංහ ගායානා කරන මෙම ගීතය රචනා කර තිබුණේ ද බණ්ඩාර කේ. විජේතුංගයන් විසිනි. සරසවි සිනෙරු චිත්‍රපට වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කළ බිත්තිහතර චිත්‍රපටය අධ්‍යක්ෂණය මෙන්ම කළමනාකරණය පරාක්‍රම ද සිල්වාගේය. චන්ද්‍රෙස්න පෙරේරා විසින් ලියන ලද චිත්‍රපට තිර නාටකයෙන් නිමැවූ බිත්තිහතර චිත්‍රපටය සංස්කරණය කරනු ලැබුවේ ස්ටැන්ලි ද අල්විස්ය. සහාය අධ්‍යක්ෂණය චන්ද්‍රෙස්න පෙරේරා සහ ඩයස් රූපසිංහගේය. ලංකා චිත්‍රාගාරයේ මෙන්ම රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරයේ ද සැකසුණු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වොරින්ටන් අබේවර්ධනගේය. චිත්‍රපටය පුරාවට ගීත 4ක් අන්තර්ගත අතර, පෙර සඳහන් කරන ලද ගීත දෙකට අමතරව වොරින්ටන් අබේවර්ධන ගායනා කරන සිතුවිල්ලේ සිර මැදුරේ සහ නිශ්ශංක දිද්දෙණිය ගායනා කරන දුව දීමට අනෙක් ගීත දෙකයි.

බිත්තිහතර චිත්‍රපටයේ නළු නිළි කැල ලෙසින් නීල් අලස් (සේපාල), ස්වර්ණා මල්ලවාරච්චි (සමදරා), වසන්ති චතුරාණි (මල්ලිකා), මැණික් කුරුකුලසූරිය (චාන්දනී), නදීකා ගුණසේකර (නන්දනී), පියසේන අහංගම (ජයසේන), ස්වර්ණමාලී දන්තුරේ බණ්ඩාර (සුනීතා) මෙන්ම නිශ්ශංක දිද්දෙණිය, ප්‍රසන්ත ෆොන්සේකා, රුබී ද මෙල්, රත්නාවලී කැකුණාවෙල, දේවිකා මිහිරානි, නිමල් වලාකුළුගේ සහ රොහාන් වැලිවිට සම්බන්ධ විය.

1982 නොවැම්බර් 05 වනදා තිරගතවීම ඇරඹුණු බිත්තිහතර චිත්‍රපටය ගාමිණී – මරදාන, ඕඩියන් – ගල්කිස්ස, ලැවීනියා – නුගේගොඩ ඇතුළු සිනමාහල් 14හි ප්‍රදර්ශනය කෙරිණි.

මෙවර සැප්තැම්බර් 8 දා සිනෙ ඡායා තුළින් ඔබට නැරඹීමට හැකිවන්නේ ‘බිත්තිහතර‘ චිත්‍රපටයයි. චිත්‍රපටය ආරම්භයට පෙර ප්‍රවීණ සිනමා විචාරක තුසිත ජයසුන්දර මහතා සහ ගාමිණී වේරගම මහතා විසින් ඉදිරිපත් කරනු ලබන සිනමා විචාරයක් හා සම්බන්ධවීමට ද ඔබට හැකියාව ලැබෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT