Home » ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම අර්නස්ට් පෝරුතොට පියතුමා

ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම අර්නස්ට් පෝරුතොට පියතුමා

by mahesh
September 8, 2023 1:00 am 0 comment

නුවන් මහේෂ් ජයවික්‍රම

මෙරට සිනමාව පිළිබඳ වැඩි කතාබහක් සහ උද්‍යෝගයක් මෙකල දක්නට පුළුවන. ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ගණනාවක්ම ඉකුත් කාලයේදී තිරගත කෙරිණ. ආර්ථික වශයෙන් යම් ස්ථාවරයකට පැමිණෙමින් සිටින මෙකල මෙරටට සිනමා කර්මාන්තයෙන් ලැබිය හැකි ආලෝකය පිළිබඳ විද්වත්හු පෙන්වා දෙති. එහෙත් පොදුවේ ගත් කල අර්බුද රැසක් මෙරට සිනමා කර්මාන්තය තුළ දක්නට ඇති බව එහි නිරත බොහෝ දෙනකු නඟන මැසිවිල්ලකි. ඉකුත්දා ඒ පිළිබඳ කතාබහක් එම කර්මාන්තයට විවිධාකාරයෙන් සම්බන්ධ 150ක පමණ පිරිසක් කැඳවා ගනිමින් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි. ඒ, ගරු අර්නස්ට් පෝරුතොට පිය පදනමේ සංවිධායකත්වයෙනි. මේ ලිපිය ඒ අනුව සැකසිණි.

ගරු. අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ 92වැනි ජන්මානුස්මරණය ලාංකේය සිනමාවේ අර්බුදයට පිළියම් සෙවීමේ සාමූහික ප්‍රයත්නයට නිමිති කොට ගත හැකිය. සිනමාව ජාති, කුල, ආගම් භේදයකින් තොරව දුප්පත්, පොහොසත්, ගම්බද, නගරබද කා ළඟටත් එක සේ රසවින්දන මාධ්‍යයක් වශයෙන් රැගෙන යෑමේදී සුවිශාල මෙහෙයක් ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා ඉටු කළහ. ඒ මඟ යමින් නූතන අර්බුද ජය ගැනීම කෙරෙහිත් ක්ෂේත්‍රයේ සියල්ලන් එකට එක්වී කටයුතු කිරීමේ වැදගත්කම කැපී පෙනේ. සැබැවින්ම අර්නස්ට් පෝරුතොට පියනම ලාංකේය සිනමාව ඉහළට ඔසවා තැබීමට මුල්වූ අයෙකි. මෙරට සිනමා රසාස්වාදය අතින්ද එය එසේමය. සිනමා අත්දැකීම් බොහෝ දුෂ්කර ප්‍රදේශ කරා රැගෙන යෑමේ පුරෝගාමිත්වයක් පියතුමන් දරන ලදි. කතෝලික සභාවේ පියනමක් වුවද අර්නස්ට් පෝරුතොට පියතුමන් විශ්වීය දැක්මකින් යුතුව කටයුතු කළහ. ඒ මිසෙක කිසි විටෙක එක් ජන කොටසකට හෝ කණ්ඩායමකට කොටු වීමක් එහිමියන් තුළ නොවූහ. මානවීය වටිනාකම් සිනමා නිර්මාණ හරහා ප්‍රගුණ කිරීම කෙරෙහි එතුමන් ඇපකැප වී කටයුතු කළහ. කතෝලික සිනමා පර්ෂදය මඟින් ocic සිනමා සම්මාන ටෙලි, සිනමා සම්මාන උළෙල පැවැත්වීම පමණක් නොව, තවදුරටත්, වැඩමුළු, සම්මන්ත්‍රණ, චිත්‍රපට දැක්ම ආදී විවිධ සද්කාර්යයන්හි නිරත වූහ. කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රය මුල්කරගෙන විවිධ වැඩසටහන් ඒ වෙනුවෙන් දියත් කළහ.

අර්නස්ට් පෝරුතොට පියනම ඇතුළු පිරිස කොළඹින් බොහෝ දුර බැහැර ප්‍රදේශවලදී චිත්‍රපට දර්ශන පැවැත්වූහ. සම්මන්ත්‍රණ පැවැත්වූහ. ඒ වෙනුවෙන් භෞතික, මානව සම්පත් ද ඔවුන් සතු විය. එසේම, මෙරට සිනමා විචාරය ස්ථාපිත කිරීම කෙරෙහිත් පියතුමන්ගේ විශේෂ අවධානයක් යොමු විය. සැබැවින්ම අර්නස්ට් පෝරුතොට පිය පදනම ද ඒ මඟ යමින් ස්වේච්ඡාවෙන් වැඩ කරන විද්වතුන්, සමාජ ක්‍රියාකාරින්, විචාරකයන්, සිනමා ප්‍රේක්ෂකයන් ආදින්ගේ එකමුතුවකි, ගරු අර්නස්ට් පෝරුතොට පිය පදනම. ඒ අනුව චිත්‍රපට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, නළු නිළියන්, තාක්ෂණ ශිල්පීන් ආදී එහි විවිධ කොටස්කරුවන් ඉකුත්දා දිනක් පුරා මෙරට සිනමාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අදාළ යෝජනා මාලාවක් සැකසීම මෙහි මූලික කාර්යයකි. සැබැවින්ම මෙහිදී ධනාත්මක මෙන්ම ඝෘණාත්මක ප්‍රතිචාර ද මතු විය. සිනමාවේදින්ට පොදුවේ එකම වේදිකාවක් තැනීම ඒ කාගේත් පැසසුමට ලක්වූ ප්‍රධාන කරුණකි. මෙහිදී සිනමා ක්ෂේත්‍රයේ නිරත පිරිස් මූලික වශයෙන් කණ්ඩායම් හතරකට බෙදී කොටස් වශයෙන් සිනමාවට ස්ථිරසාර ජාතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් මූලික වශයෙන් ඒ ඒ ක්ෂේත්‍ර හරහා යෝජනා, අදහස් ගැනිණ. මෙරට විශාල ප්‍රේක්ෂක පිරිසක් දකුණු ඉන්දියානු චිත්‍රපට ප්‍රේක්ෂකයන්ව ඇති බවත් ඉන් යම් කොටසක් හෝ ලාංකේය සිනමාව දෙසට ආකර්ෂණය කර ගැනීම ද වැදගත්ය. එතැනින් ආරම්භ කරන මෙරට සිනමාවේ ඉදිරි ගමන මෙරටට අතිශය වැදගත් විදේශ විනිමය ඉපැයීම කෙරෙහිත් ඉවහල් වන බවත් අමතක කළ නොහැකිය.

එසේම මේ සම්මන්ත්‍රණයට එක් නොවූ, පිටත සිටින සිනමාකරුවන්, ශිල්පීන් මේ පිළිබඳ විවිධ අදහස් දැක්විය හැකිය. ඒ කෙසේ වෙතත් ඉදිරියටත් මෙදින නැවතුණු තැනින් ඉදිරියට මේ කතිකාවත ඉදිරියට ගෙන යෑම අත්‍යවශ්‍යය. ආර්ථිකමය කරුණුවලටත් වඩා නව අදහස් බහුල තාරුණ්‍යයට නිර්මාණශීලී අධ්‍යයනයට පහසුකම් අඩුකම අද වන විට තදින් බලපා තිබෙන්නකි. ඊට ජාතික ආයතනයක් පිහිටුවීම එක් යෝජනාවකි. උපාධි මට්ටම දක්වාම සිනමාකරණය පවතින මෙරටට උසස් පෙළ, සාමාන්‍ය පෙළ සිසු සිසුවියන්ටත් සිනමාව හඳුන්වා දීමේ වැදගත්කමද අවධාරණය කළ යුත්තකි. පාසල් විෂය නිර්දේශයට සිනමාව විෂයක් වශයෙන් හඳුන්වා දීමේ වැදගත්කම ද එසේමය. ඒ විද්වතුන්ගේ කතාබහට ලක්ව තිබෙන්නකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT