1936 වසරේ එක් රාත්‍රියක ඩීන් ලින්ඩ්සේ සඳ දෙස බලා සිටියේය. කිසිවෙකුට අයිති නැත යැයි සිතූ හේ, තමා වෙත හඳේ අයිතිය හිමිකර ගැනීම සඳහා වන නෛතික ප්‍රතිපාදන සඳහා සූදානම් විය. මේ වන විට ඔහු අමුතු පන්නයේ දේපළ හිමිකරුවෙකු බවට පත්ව සිටියේය. පෙර හිමිකම තමනට ඇතැයි සඳහන් කරමින්, අත්ලාන්තික් සහ පැසිපික් සාගර ද්විත්වයම, ඔහු එක් එක් අය සඳහා විකුණා දැමුවේය.
පිට්ස්බර්ග් නොතාරිස් කාර්යාලයට පයින්ම ගිය ලින්ඩ්සේ ‘ග්‍රහලෝක, දූපත් – අභ්‍යවකාශ හෝ වෙනත් ද්‍රව්‍ය ලෙසින් හැඳින්වෙන සියලුම දේපළ’ මින්පසුව තමා සතු බව ප්‍රකාශ කරමින් ලියවිල්ලක් ඉදිරිපත් කළේය.
1969 ජුනි මාසයේදී ඇපලෝ යානය සඳ මතට ගොඩබා මාසයකට පසුව ලින්ඩ්සේ මියැදුණේය. ‘සඳට සැහැසිකම් කළ අය සඳ එළියෙන් සැනසුනාට සඳ සාවිට දුක හිතෙන්නේ නෑ…’ සේ මේ ආකාරයට යමෙක් සඳේ අයිතිය තහවුරු කර ගත්තාට අපිට වගක් නැත. එහෙම වුණාට ලින්ඩ්සේ ලබා දුන් ආරම්භය කරට ගනිමින් දැන් හඳේ ඉඩම් සින්නක්කරයට විකුණන සමාගම් බර ගණනක්, අන්තර්ජාලයේ ඇත.
බටහිර ඉන්දියාවේ ගුජරාටයේ සූරත් නගරයේ ව්‍යාපාරික, විජයබායි කතිරියා මේ ළඟදී, සඳ මත අක්කරයක ඉඩමක් මිල දී ගත්තේය. මාස දෙකක් වයසැති සිය පුතාට එය තෑග්ගක් ලෙස ඔහු පිරිනැමුවේය. නිව්යෝර්ක් හි, ජාත්‍යන්තර චන්ද්‍ර රෙජිස්ට්‍රාර් ආයතනයෙන් මේ සඳහා ඔහුට අවසර ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍යද මේ ගැන වාර්තා කළේය.
ශාරුක් ඛාන් උපන්නේ 1965 නොවැම්බර් දෙවැනිදාය. ඔස්ට්‍රේලියානු කාන්තාවක් සෑම වසරකම, ශාරුක් හට ලබා දෙන උපන් දින තෑග්ග වන්නේ ‘සඳ මත ඉඩමකි ’. මේ සඳහා වන ජාත්‍යන්තර චන්ද්‍ර ලේඛනාගාර සහතිකය ද, ඇය තමා වෙත ලබා දෙන බව ඔහු සාකච්ඡාවකදී අනාවරණය කළේය.
රාජස්ථානයේ ධර්මේන්ද්‍ර අනීජා පසුගිය වසරේ තම භාර්යාව සප්නාට, ඔවුන්ගේ අටවැනි විවාහ සංවත්සරය වෙනුවෙන් සඳ මත අක්කර තුනක ඉඩමක් තෑගි කළේය.
මේවා දුටු විට, අපිදු හොල්මන් වන්නේ එක්කෝ මේ බයිලා අසා සතුටු විය යුතුය. නැත්නම් ඒවා පස්සේ පන්නා මේ මොකක්දැයි සොයා, ඒ පිස්සෝ ගත් මඟේ අප ද යා යුතුය.
1967 පිටත අභ්‍යවකාශ ගිවිසුම නම් ලෝක සම්මුතිය අනුව අභ්‍යවකාශය හෝ ඕනෑම ආකාශ වස්තුවකට නීත්‍යනුකූල හිමිකම් පෑම සපුරා තහනම්ය. චන්ද්‍රයා ඇතුළු සමස්ත අභ්‍යවකාශ භූමිය වනාහි මනුෂ්‍ය වර්ගයාගේ පොදු උරුමයක් බව, මේ ගිවිසුමේ සඳහන් වේ. පුද්ගලයෙකුට හෝ රටකට ඒවා අයිති කර ගැනීම තහනම්ය.
එහෙම තියෙද්දී මේ ‘සන්දර්ශනවාදී’ කේස් ද ලෝකයේ බහුලව පවතියි. හිස කුඩිච්චි දැමීම, ගස් බැඳ දණ්ඩය ආදිය මානසික රෝගීන් සඳහා පෙර කාලයේදී ප්‍රතිකර්ම ලෙස භාවිතයට ගත්තේය. පීඩනය යොදා අසනීපකාරයා, ප්‍රකෘතියට පමුණුවා ගැනීමේ, ඒ ක්‍රමවේදය දැන් අනුගමනය කරන්නේ නැත. පළමුව දෙන්නේ අනුකම්පාවය. එවැනි මානසික රෝගීන්ගෙන් සාමාන්‍ය සමාජය ආතල් ගන්නා අවස්ථා ද ඇත්තේය. එහෙම මානසික අවුල් නැතුව වුව ද, ශාරුක්ට හඳේ ඉඩමක් තෑගි කරනවා වගේ ‘සප්‍රයිස්’ වැඩ සඳහා නිර්මාණශීලි පුද්ගලයෝ, මේවා භාවිත කරන අවස්ථා ද තිබේ. මේ සියල්ල අතරේ කපටියා වෙත, ඒවා අාදායම් මාර්ග වේ. පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනමාධ්‍ය, අනේක වාරයක් රට දැනුම්වත් කර තිබේ. ඒ කොයිතරම් ද කිවහොත් පාර අයිනට වෙන්න තියෙන ගස් ගල් පවා, පිරමීඩ යෝජනා ක්රමයෙහි ආදීනවය දන්නේය. ඒ වුණාට, අලුත් වටයක් ගසා, ගැන්සියක් අන්දවා කෝටි සියයක් දෙසීයක් කඩා ගැනීම සඳහා ඒ වගේ පැකේජ් එකක් හෙට වුව ද තව එකෙකුට ලබා දිය හැකිය. කොච්චර දේවල් කිව්වද, ඒවාට අඳිනා ‘සෙට් එකක්’ රටේ සිටිති.
චැනල් හතර වීඩියෝව වනාහි අතිශය ප්‍රාථමික ගණයේ, වැඩකි. එල්ටීටීඊයේ හඬ කාලයක් තිස්සේ නියෝජනය කළ චැනල් ෆෝ නාළිකාවේ අලුත් වීඩියෝවට කාදිනල්තුමා ස්තූති කළේය. ඒ අනුව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි එතුමා ඊයේ ප්‍රකාශ කළේය. අර බයිලාව බලා තුටු පහටු වී එම ජාත්‍යන්තර පරීක්ෂණය අවසන් වෙන තෙක්, අදාළ නිලධාරිගේ වැඩ තහනම් කළ යුතු යැයි ද එතුමෝ කියා සිටියහ. අහිංසකයන්ගේ දුක්, කඳුළු මේ තරම් අවර ගණයෙන් මාකට් කර, වෙනත් දේශපාලන අභිප්රායන් සඳහා රට ගෙන යෑම සමහරුන්ට සඳේ ඉඩම් වැනි කතාවකි.
නීතිය කුමක් වුව ද එහෙම පිස්සු කෙළින එකා වැඩේ කරගෙන යන්නේය. ඒවා සඳහා පෙති ලබාදීම, විදත් කම්පන ප්‍රතිකාර ආදිය ලබාදීම සඳහා කවුරුත් උත්සුක නොවන්නේ, ඔය සිඟිති ආතල් ‘සීරියස්’ නොවන හෙයිනි. එහෙම වුණාට සමහර එකාලාගේ ‘නට් ලූස්’ සමාජයට ද වාවා ගත නොහැකිය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙච්චර පරීක්ෂණ සිදු කර ඇති, නඩු තවමත් අසන රටේ, තව තවත් පරීක්ෂණ ඉල්ලා සිටින්නේ මේ විගඩම් මත්තේ, දේශපාලන අලකලංචියක් ඇති කිරීමට සහ රට වෙනුවෙන් බුද්ධි අංශ ආදියේ සිට සේවය කරන ලද ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් පළි ගැනීමටය.
බෝම්බයෙන් මළ සහ මැරි මැරී ඉපදෙන අපේ පන්තියේ පොඩි එකාව මේ ආකාරයට තවදුරටත් අපහරණය සඳහා ඉඩ දීම යනු තවදුරටත් හඳේ ඉඩම් අල්ලාගෙන, තෑගි දෙනවා වගේ වැඩක් නොවේ. ඉඩම් අල්ලා ගත්ත එකා, හඳ මගේ යැයි කියමින්, අභ්‍යවකාශ මධ්‍යස්ථානයට බෝම්බ ගසන්න යනවා වැනි ‘තද වූ’ තත්ත්වයකි. එතැනට ආ පසු ඒකා අහිංසක නැත. ආතල් ගත යුතු ද නැත. එක්කෝ අංගොඩය, නැත්නම් ඊට මෙහායින් ඇති වැලිකඩ, ඒකාගේ පර්චස් කිහිපය විය යුතුය.