Monday, April 21, 2025
Home » විදෙස් රැකියා ක්ෂේත්‍රය පිළිබඳව ග්‍රාමීය වශයෙන් දැනුවත් කිරීමට අවධානය

විදෙස් රැකියා ක්ෂේත්‍රය පිළිබඳව ග්‍රාමීය වශයෙන් දැනුවත් කිරීමට අවධානය

by chanaka
September 8, 2023 3:29 pm 0 comment

විදෙස්ගත වන ශ්‍රමිකයන් ප්‍රායෝගික පුහුණුවක් සහිත පාඨමාලාවන් හැදෑරීම මගින් විදේශ රැකියා සම්බන්ධයෙන් ලබා ගත හැකි උපරිම විදේශ විනිමය සහ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි බවත් ඒ පිළිබඳ කටයුතු කිරීම වැදගත් බවත් විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. උක්ත කාරක සභාව පසුගියදා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

මෙහිදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා සඳහන් කළේ ග්‍රාම නිලධාරිවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම ජනතා නියෝජිතයන්ද දැනුවත්කිරීම පිණිස විදේශ රැකියා සම්බන්ධ තොරතුරු ඇතුළත් අත්පොතක් නිර්මාණය කර ඇති බවත්, එය මුද්‍රිත මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඉහත සඳහන් කාර්යාල සහ පුද්ගලයන් වෙත ලබාදීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බවයි.

ග්‍රාමීය මට්ටමේ සිටින පුද්ගලයන්ට විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධවීමේදී නිවැරදි හා නිශ්චිත තොරතුරු ලබාගැනීමේ ගැටළුවක් පවතින හෙයින් ව්‍යාජ ආයතන හෝ නියෝජිතයන්ගේ වංචා සහගත ක්‍රියාවන්ට ගොදුරුවීම මඟින් ඔවුන් සතු කාලය සහ මුදල් විනාශවන බව කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා විය. එබැවින් මෙම වැඩසටහන දීර්ඝකාලීනව පවත්වාගත යුතු බව කාරක සභාවේ සභාපතිවරයා විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

මීට අමතරව, සේවක අර්ථසාධක අරමුදලෙහි ආයෝජන තීරණ ගැනීමේදී කම්කරු අමාත්‍යංශයේ නිලධාරී නියෝජනයක්ද ලබාගැනීම වැදගත් බවටද කමිටුවේදී සාකච්ඡා විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා,  ෆයිසල් කාසිම්, එස්.එම් මරික්කාර්, ඉෂාක් රහුමාන්, සමන්ප්‍රිය හේරත්,  ගාමිණී වලේබොඩ සහ  වේලු කුමාර් යන මහත්වරු මෙම රැස්වීමට සහභාගී වුහ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු, කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්, මුදල් හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් සහ මහබැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT