Monday, April 21, 2025
Home » උසස් පෙළ සමත් සිසුවා හදිසියේම මියයයි

උසස් පෙළ සමත් සිසුවා හදිසියේම මියයයි

by yasara
September 8, 2023 10:58 am 0 comment

අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින්ම  සමත්ව විශ්ව විද්‍යාල  වරම් ලැබූ කුරුණෑගල මලියදේව විදුහලේ ශිෂ්‍යයෙකු ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ගොදුරුව හදිසියේම මරණයට පත්වීමේ ශෝචනීය පුවතක් වැල්ලව පොලීසියෙන් වාර්තාවේ.

මෙම අකල් මරණයට ගොදුරුව ඇත්තේ වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් තෝරයාය රණවන ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි ආර්.ජී.මනුජය හංසමාල් නමැති තරුණයෙකි.

ඔහු ඊයේ (7) රාත්‍රියේ නිවසේ නිදා සිටියදීම මරණයට පත්ව සිටි බව පොලීසිය පවසයි.

මියගිය තරුණයා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් දෙවැනි වරටද පෙනී සිට ඇති අතර එම විභාගයට පසුගියදා නිකුත් කරන ලද ප්‍රතිඵල වලට අනුව ඔහු බී සාමාර්ථ තුනක් ලබමින් විභාගයෙන් සමත්ව සිට  ඇත.

උසස් පෙළට පෙනී සිටි අතරේදීම ඔහු මහජන බැංකුවේ කුරුණෑගල මල්ලවපිටිය ශාඛාවේ ගිණුම් ලිපිකරුවෙකු ලෙස තාවකාලිකව රැකියාවකද නිරතව සිට ඇත.

විභාගයෙන් සමත් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔහු පෙරේදා පස්වරුවේ තමන් සේවය කළ බැංකුවේ කාර්ය මණ්ඩලය සඳහා තේපැන් සංග්‍රහයක්ද පවත්වා ඇත.

එම සාදයෙන් අනතුරුව නිවසට ගිය ඔහු එදින රාත්‍රියේ නින්දට ගොස් ඇති අතර පසුදින උදෑසන අවදිවීමට ප්‍රමාද වීම හේතුවෙන් මව ගොස් සොයා බැලීමේදී ඔහු නිදි ඇඳේ සිහිසුන්ව මෙන් සිටින බව දැක ඇත.

එහිදී ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒවනවිටත් ඔහු මරණයට පත්ව ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්.බී. සේනානායක මහතා හදවතේ කිරීටක ධමනියක රුධිර ගමනාගමනය අවහිර වීම හේතුවෙන් මරණය සිදුව ඇති බව නිගමනය කර තිබේ.

මියගිය තරුණයා මරණයට පත්වීමට පෙර දින රාත්‍රියේ 10 .00 පසුවන තුරුම තම මිතුරෙකු සමඟ කතාබස් ඇති බව පැවසෙන අතර ඉන් පසුව හදිසියේ රෝගාතුරව නිදි ඇඳේම මරණයට පත් වන්නට ඇති බව පැවසෙයි

ඔහු පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමල් දරුවාවේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT