පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිලධාරි තනතුරු 4000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මෙරට ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල්කරණය කිරීමේ e-GN වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙසේ ද පැවසීය.
මේ වන විට රජය ප්‍රතිපත්තියක් ලෙස බඳවා ගැනීම් අත්හිටුවා තිබෙනවා. එහෙත් ග්‍රාම සේවා නිලධාරීන්ගේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙනවා. ග්‍රාමීය මට්ටමේ පවතින සංවිධානය වන ග්‍රාම සේවා නිලධාරී තනතුර පුරප්පාඩු කර ඉදිරියට යෑමට අපහසුයි. ඒ නිසා මේ වන විට පවතින ග්‍රාම නිලධාරීන් හාරදහසකගේ පුරප්පාඩුව පිරවීමට අප කටයුතු කරමින් සිටිනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය භාරගත් අවස්ථාවේ අපට පැවරුණු ප්‍රධානම කාර්යය වූයේ ජනතාවට ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩනඟා දීමයි. නමුත් ජනාධිපතිවරයා ධුරයට පත්වීමෙන් පසුව ගනු ලැබූ දුරදක්නා තීන්දු තීරණ නිසා වසරක් වැනි කෙටි කාලයක් තුළ රටේ ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට සැලකිය යුතු පරිවර්තන රැසක් සිදු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතා හා පෝෂණ කමිටු සකස් කර ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් කමිටුව ද නිර්මාණය කිරීමෙන් අනතුරුව පළාත් 09ටත් දිස්ත්‍රික් මට්ටමේත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේත්, ඉන් අනතුරුව ග්‍රාම සේවා වසම් 14,022කටම ආහාර සුරක්ෂිතතා පෝෂණ කමිටු නිර්මාණය කළා.
මේ වන විට e-GN ග්‍රාම සේවා වසම් ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. ඉන් කළුතර දිස්ත්‍රික්කයේ සීයට අනූවක් සහ පුත්තලම සීයට පනහක් පමණ ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම දිස්ත්‍රික්ක හතක මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. අනෙකුත් දිස්ත්‍රික්කවලද දත්ත හා තොරතුරු එක්රැස් කරමින් පවතිනවා. ඒ අනුව නුදුරේදීම ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.