Monday, April 21, 2025
Home » පාදුක්ක OICට රඟපා කතකට අතවර කර රන් මාලය කොල්ලකාලා

පාදුක්ක OICට රඟපා කතකට අතවර කර රන් මාලය කොල්ලකාලා

හිටපු හමුදා සැරයන්-ත්‍රිරෝද රියැදුරු අත්අඩංගුවට

by mahesh
September 8, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක, බණ්ඩාරගම - බිමල් ජයසිංහ

පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටිමින් සම්බාහන මධ්‍යස්ථානයක සේවයේ නිරත කාන්තාවක ලැගුම්හලකට රැගෙන ගොස් ලිංගික අතවර කර ඇගේ ගෙලෙහි බැඳි රන් මාලය කොල්ලකෑ පුද්ගලයකු සහ ඔහු සමඟ පැමිණි ත්‍රිරෝද රථ රියැදුරකුව මොරන්තුඩුව පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (06) අත්අඩංගුවට ගනු ලැබූහ.

පන්නල්ගම පදිංචි 38 හැවිරිදි කාන්තාවක විසින් මොරන්තුඩුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 01 වැනිදා බව පොලිසිය කියයි.

පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා අවුරුදු 54ක් වයසැති ගාල්ල සුමනතිස්ස පාරේ පදිංචිකරුවෙකි. ඔහුගේ සහායකයා ලෙස පෙනී සිටි ත්‍රිරෝද රථ රියැදුරු අවුරුදු 42ක් වයසැති පරගස්තොට පදිංචිකරුවකු බව පොලිසිය කියයි. කොල්ලකෑ රන් මාලයේ වටිනාකම රුපියල් එක්ලක්ෂ අසූ දහසක් පමණ වන බව ද ඇය විසින් පොලිසියට පවසා ඇත. එම රන් මාලයද පොලිසිය මඟින් සැකකරුගෙන් ප්‍රශ්න කර සොයාගෙන තිබිණ.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ලෙස පෙනී සිටි සැකකරු යුද හමුදාවේ හිටපු සැරයන්වරයකු බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. පොලිස් ලෙස සඳහන් කරමින් ඔහු විසින් ව්‍යාජ හැඳුනුම්පතක් ද සකස් කරගෙන තිබී ඇත. ඔහු එයද මෙම කාන්තාවට පෙන්වා බිය ගන්වා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබිණ.

මුහුණපොත ඔස්සේ කාන්තාවට මෙම පුද්ගලයාව මුණගැසී ඇති බවත් දෙදෙනා අතර අදහස් හුවමාරු කර ගැනීමකින් අනතුරුව ඇයට රුපියල් 30,000ක මුදලක් දෙන බව පවසා මොරන්තුඩුව, තිඹිරිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට ඇයව පසුගිය 01 වැනිදා කැඳවාගෙනවිත් ඇති බවත් විමර්ශනයේදී හෙළිවී තිබිණ.

තමා පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා බව පවසා ව්‍යාජ හැඳුනුම්පත පෙන්වා ඇත්තේ ලැගුම්හලේදී බවත් ඊට ඇය බියට පත්ව මෙම පුද්ගලයාගේ අණට කීකරු වී ඇති බවත් පොලිසිය කියයි. මෙම කාන්තාව සමඟ ලිංගිකව එකට සිටීමෙන් අනතුරුව මෙම පුද්ගලයා ඇගේ ගෙල බැඳි රන් මාලය, පෙන්ඩනය ද සමඟ ගලවාගෙන ඇති බව ද පොලිසිය කියයි.

මෙම පුද්ගලයා ඇගේ නිරුවත ඡායාරූප ජංගම දුරකතනයෙන් වීඩියෝගත කරගෙන ඇති බව ද සඳහන්ය.

මේ ගැන එම කාන්තාව විසින් කළ පැමිණිල්ලට අනුව විමර්ශන පවත්වා මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ඇයට මෙම අපරාධය සිදු කළ ලැගුම්හල තුළදීමය. පොලිසිය පවසන්නේ එම අවස්ථාවේදී ඔහු තවත් කාන්තාවක සමඟ එහි රැඳී සිටි බවය.

මෙම පුද්ගලයා විවිධ පොලිස් ස්ථානවල නම් කියමින් පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස මෙන්ම වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ගණිකාවන් වැටලීම් ඒකකයේ ප්‍රධානියා බව ද කියමින් මෙසේ කාන්තාවන් රවටා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම්වල නිරත වෙමින් සිටින අයකු බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

බම්බලපිටිය, ගල්කිස්ස සහ පාණදුර ඇතුළු පොලිස් බලප්‍රදේශවල ද සැකකරුට එරෙහිව විමර්ශන පවතින බව ද සඳහන් වේ.

සැකකරු පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT