Monday, April 21, 2025
Home » පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න රජයක් ලෙස සුදානම්

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න රජයක් ලෙස සුදානම්

by chanaka
September 7, 2023 4:54 pm 0 comment

පාස්කු ප්‍රහාරය පිළිබදව දේශිය වශයෙන් නොවෙ ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න රජයක් ලෙස සුදානම් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (07) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන්න ආසන්න වන විට අපේ රටට විරුද්ධව විවිධ වාර්තා වීඩියෝ ඉදිරිපත් කරනු ලබන බවයි.

ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඩයස්පෝරාව විවිධ දේවල් කරනවා. අපි ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් ඩයස්පෝරා නායකයින් සමග සාකච්ඡා කළා. මේ පාස්කු ප්‍රහාරය සිදු වෙන්න මාස 29 කට පෙර මේ පිළිබදව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. ඒ කාලයේ හිටපු රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇතුළු අය මට චෝදනා කළා. ජාතික සමගිය නැති කරන්න මම මේ ප්‍රකාශය කළා කිවුවා. අද විපක්ෂයේ ඉදලා දැඩි උනන්දුවෙන් සමහර අය කථා කරනවා. මම එදා ඒ ප්‍රකාශය කරන කොට අද කථා කරන, කෑ ගහන අය අමාත්‍ය මණ්ඩලයේ හා ආණ්ඩුවේ හිටියා. කොරහේ කිඹුල්ලු දකින්න එපා මේ රට ලේ විලක් කරන්න එපා කියලා මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා වගේ අය මට චෝදනා කලා. නමුත් මාස 29 කට පස්සේ සියලු දෙනාගේ ඇස් ඇරුණා. මගේ ප්‍රකාශය ගැන එදා සොයා බැලුවා නම් අදත් ඒ මිනිසුන් ජීවත් වෙනවා. පාස්කු ප්‍රහාරය පිටිපස මහ මොළකාරයෙක් ඉන්නවා කියලා ප්‍රකාශ වුණා. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යන දවසේ තමයි මහ මොළකාරයෙක් ඉන්නවා කියන කථාව කිවුවේ. ඔහුට මේ ප්‍රකාශය විශ්‍රාම යන දවසේ කියන්නේ නැතිව එතුමාගේ කාලය තුළ සොයා බලන්න තිබුණා. නමුත් එතුමාගෙන් මේ පිලබදව ප්‍රකාශයක් ගන්න යන කොට අධිකරණ නියෝග ලබා ගන්නවා ප්‍රකාශ ලබා ගන්න එපා කියලා. දැනට පාස්කු ප්‍රහාරය ගැන නඩු 42 ත් තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබදව දේශිය වශයෙන් නොවෙයි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න රජයක් ලෙස අපි සුදානම්. අද ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන අය එදා පාස්කු ප්‍රහාරය වන අවස්ථාවේ ආණ්ඩුවේ හිටියා. චැනල් 04 නාලිකාව ඩයස්පෝරාව එක්ක කටයුතු කරන මාධ්‍ය ආයතනයක් . එම නාලිකාව පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට යුක්තිය ඉටු වෙන්න ඕන කියන සද් භාවයෙන් ඉන්න ආයතනයක් නෙවෙයි. චැනල් ෆෝ නාලිකාව විකාශනය කරන පරිදි සිද්ධියක් වෙලා තිබෙනවා නම් ඒ ගැන සොයා බලනවා. මේ පිළිබදව අපි පුර්ණ පරීක්ෂණයක් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT