Home » පයිනස් දැව අපනයනයට ඇති හැකියාව සොයා බැලේ

පයිනස් දැව අපනයනයට ඇති හැකියාව සොයා බැලේ

by chanaka
September 7, 2023 5:23 pm 0 comment

ශ්‍රී ලංකාවේ වාණිජව වගා කරන ලද පයිනස්, දැව ලෙස භාවිතයට ගැනීම සහ අපනයනය කිරීම පිළිබඳ පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ජා කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙරට පයිනස් වගාවෙන් දැව සදහා භාවිතා කළ හැකි තත්ත්වයේ පවතින පයිනස් ගස් හෙක්ටයාර් 1200ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කැලෑවල ද හෙක්ටයාර් 1764 ක් පමණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ඇති කැලෑවල ද මේවන විට පවතින බව කාරක සභාවේ දී අනාවරණය විය. දළ වශයෙන් වසර 18 කට පමණ අවශ්‍ය පයිනස් දැව මෙරට ඇති බව කාරක සභාවේ දී සඳහන් විය.

භාවිතා කළ හැකි තත්ත්වයේ පයිනස් දැව මෙරට තිබෙන පසුබිමක විශාල විදේශ විනිමයක් වැය කර පයිනස් දැව ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විමසා සිටියේය.

ආනයනය කරනු ලබන දැවවල පවතින ඉහල ප්‍රමිතිය සහ ආනයනය කිරීමේදී අයකරන බදු ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ඒ සඳහා ඉහල ඉල්ලුමක් පවතින බව ද, දේශීය පයිනස් දැව ඒවායේ පවතින ගැට හේතුවෙන් ගුණාත්මක බවින් අඩුවීම නිසා අඩු ඉල්ලුමක් පවතින බව නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම, දේශීය පයිනස් දැව ඉදිකිරීම් ක්ෂේත්‍රයට පමණක් භාවිතා කරන නමුත්, ආනයනය කරනු ලබන පයිනස් දැව සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා ද යොදා ගන්නා බව ද නිලධාරීහු පෙන්වා දුන්හ. එමෙන්ම දේශීය පයිනස් දැව සම්බන්ධයෙන් මහජනතාව තුළ යහපත් ආකල්පයක් නොමැති බැවින් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය ඇතුළු අනෙකුත් කටයුතු සඳහා දේශීය පයිනස් දැව භාවිතය දිරිමත් කිරීමට පියවර ගත යුතු බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.

ඒ අනුව, ආනයනික පයිනස් දැව සඳහා වන පිරිවැය සහ දේශීය පයිනස් දැව නිෂ්පාදනය සඳහා වන පිරිවැය පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් සති දෙකක් ඇතුළත කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය දැව සංස්ථාවට කාරක සභාව දැනුම් දුන්නේය.

මෙම අවස්ථාවට කාරක සභා මන්ත්‍රීවරුන්ට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී විය.

එසේම, වනජීවී වන සංරක්ෂණ අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය දැව සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනවල නිලධාරීහු සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT