සිළුමිණ පුවත සත්‍ය කරුණු මත පදනම් වූ සාධාරණ විවේචනයක්
කොළඹ ප්‍රධාන දිසා විනිසුරු
ක්‍රිකට් ක්‍රීඩාවේ විනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් සිළුමිණ පුවත්පත මඟින් කර ඇති අනාවරණය සත්‍ය කරුණු මත පදනම්ව පළ කළ සාධාරණ විවේචනයක් බව සඳහන් කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා පුවත්පතට එරෙහිව ඒකපාර්ශ්විකව නිකුත් කර තිබූ වාරණ නියෝගය විසුරුවා හැරීමට ඊයේ (06) නියෝග කළේය.
පැමිණිලිකාර ක්‍රිකට් සභාපතිවරයා හා උප සභාපතිවරයා බැලූ බැල්මට ජයගත හැකි නඩුවක් ඉදිරිපත් කර නැති බවක් පෙන්වා දෙන දිසා විනිසුරුවරයා සිළුමිණට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කිරීම ද ප්‍රතික්ෂේප කළේය.
සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ් මහතාට සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එරෙහිව ජූනි මස 26 වැනි දින නිකුත් කළ වාරණ නියෝගය විසුරුවා හැරි විනිසුරුවරයා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ද ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති හා උප සභාපති විසින් සිළුමිණ පුවත්පතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ලිපි පළ කිරීමට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. අදාළ වාරණ නියෝගයට එරෙහිව කරුණු ගොනු කළ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) නඩුව විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙසට කොළඹ දිසා අධිකරණයෙන් ජූලි 25 වැනි දින ඉල්ලා සිටියේය.
පැමිණිලිකාර සභාපතිවරයා හා උප සභාපතිවරයා විසින් වංචාකාරීව හා ප්‍රෝඩාකාරීව අත්‍යවශ්‍ය කරුණු වසන් කරමින් වාරණ නියෝග ලබාගෙන ඇති බවත් පිරිසුදු දෑතින් තොරව අධිකරණය ඉදිරියට පැමිණ ලබාගත් වාරණ නියෝග විසුරුවා හැර නඩුව නිෂ්ප්‍රභ කරන ලෙසත් ලේක්හවුස් ආයතනය සිය විරෝධතා මඟින් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සිළුමිණ පුවත්පතේ ලිපි පළ කිරීම පොදු මහජන යහපත උදෙසා මහජනයා වෙත සත්‍ය කරුණු හෙළිදරව් කිරීමක් පමණක් බවත් මහජනයා සතු කරුණු දැන ගැනීමේ අයිතිය රඳවා තබමින් සාධාරණ විවේචනයක් සඳහා ලිපි පළ කර ඇති බවත් එමඟින් පැමිණිලිකරුවන් හෝ අන් කිසිවකුට හිංසනයක් කිරීමේ චේතනාවක් විත්තිකරුවන් සතුව නැති බවත් විරෝධතා මඟින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
සිළුමිණ පුවත්පතේ පළ කෙරෙන ලිපිවලට මාධ්‍යවේදියා විසින් පාදක කරගෙන ඇත්තේ කුසලා සරෝජනී කමිටු වාර්තාව බවත් කරුණු ඉදිරිපත් කළේය.
විත්තිකාර පුවත්පත් ආයතනය හා පැමිණිලිකරුවන්ගේ පැමිණිල්ලේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා ඊයේ දිනයේදී සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කුසලා සරෝජනී කමිටුවට කරුණු ඉදිරිපත් නොකිරීම මඟින් ක්‍රීඩා අමාත්‍යවරයකු සතු බලතල අභියෝගයට ලක් කිරීමක් පැමිණිලිකරුවන් විසින් සිදු කර ඇති බවය. විත්තිකාර පුවත්පත මඟින් අනාවරණය කර ඇති කරුණුවල සත්‍ය හා නිවැරදිභාවය අධිකරණය මඟින් සලකා බැලිය යුතු බවට සඳහන් කරන විනිසුරුවරයා එම කරුණුවලට පදනම්ව ඇත්තේ නීත්‍යනුකූලව පත් කළ විමර්ශනයකට අදාළ තොරතුරු බවත් එම විමර්ශනයට ඉදිරිපත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සාක්ෂි ඉදිරිපත් කිරීම බැහැර වීම අවධානයට ලක් කළ යුතු කරුණක් බවත් එසේ කරුණු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූයේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් එළඹ ඇති අගතිදායී අනුමිතින්ගෙන් බැහැර වීමට පැමිණිලිකාර ආයතනයට අවස්ථාව තිබූ බව ද සඳහන් කර ඇත. එම අවස්ථාව පැමිණිලිකරුවන් විසින් මඟහැර ඇති බව ද සිය නියෝගයේ සඳහන් කර ඇත. තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පැහැදිලි කිරීමක් කිරීමට පැමිණිලිකරුවන්ට අවස්ථාව තිබූ බවත් විමර්ශන කමිටුවට ඉදිරිපත්ව සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ද විනිසුරුවරයා සිය නියෝගය මඟින් අවධානය යොමු කර ඇත. පිටු 14කින් යුත් නියෝගයක් ඉදිරිපත් කර ඇති දිසා විනිසුරුවරයා පැමිණිලිකරුවන් බැලූ බැල්මට ජයගත හැකි නඩුවක් ඉදිරිපත් කර නැති බව නිගමනය කර පැමිණිලිකරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.
2023 අප්‍රේල් මස 23 වැනි දින හා ජුනි මස 18 වැනි දින සිළුමිණ පුවත්පතේ පළවූ ලිපි දෙකකින් අපහාසයක් සිදු වූ බවට සඳහන් කරමින් ක්‍රිකට් සභාපති ෂම්මී සිල්වා සහ උප සභාපති රවීන් වික්‍රමරත්න මහත්වරුන් මෙම නඩු පැවරීය.
නඩුවේ විත්තිකරුවන් ලෙස පුවත්පතේ මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ් සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නම් කර ඇත.
අදාළ පැමිණිල්ල ඒකපාර්ශ්විකව සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා පසුගිය 26 වැනි දින මෙම වාරණ නියෝග නිකුත් කර තිබිණි.
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කේ.අයි.එම්. ජයවර්ධන මහත්මිය මඟින් මෙම විරෝධතා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එම විරෝධතාවල මෙසේ ද සඳහන් වේ.
පැමිණිලිකරුවන් විසින් බැලූ බැල්මට ජයගත හැකි නඩුවක් අධිකරණයට ඉදිරිපත් කර නැති අතර අදාළ ලිපිවලට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට මාස දෙකකට අධික කාලයක් ගත වී ඇති අතර, එය සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව අයුතු ප්‍රමාදයක් වේ. විත්තිකරුවන්ට පැමිණිලිකරුවන් සම්බන්ධයෙන් ද්වේෂසහගත අදහසක් නැති අතර සත්‍ය කරුණු හෙළිදරව් කිරීමට පමණක් මෙම ලිපි පළ කර ඇත.
නඩුවට පාදක අදාළ ලිපිවල හරය වී ඇත්තේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පත් කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල විශේෂ පරීක්ෂණ කොමිසම ඉදිරිපත් කළ වාර්තාව බවත් සඳහන් කර ඇති විත්තිකාර ආයතනය අදාළ වාර්තාවේ පිටපතක් ද විරෝධතා සමඟ අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පැමිණිලිකරුවන් විසින් අදාළ කමිටුව ඉදිරියේ සාධාරණ පැහැදිලි කිරීමක් හෝ අවම වශයෙන් විමර්ශන කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දීමක් හෝ සිදු නොකිරීම සම්බන්ධයෙන් ද විනිසුරුවරයාගේ අවධානය යොමුව ඇත.
පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් කේ.එම්.අයි. ජයවර්ධන මහත්මියගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව දසනායක මහතා සමඟ ධම්මිකා ජිමිනිගේ, නෙළුම් දේවපුර, සුදර්ශි ප්‍රසංගා, ඉරෝමි ජයවර්ධන, නිවන්ති තිලකරත්න, චමාලි පරණවිතාන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
මෙම නඩුව නොවැම්බර් නව වැනි දින යළි කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.
රෝෂන් තුෂාර