මහ ලේකම් තනතුර හැර වෙනත් ඕනෑම තනතුරකට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂයට භාර ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (06) පැවසීය.
ඔහු විසින් කරන අනම් මනම් වැඩ නවතා අපිත් එක්ක එකඟතාවකට එනවා නම් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවපු එක අයින් කරගන්න පුළුවන් යැයිද හෙතෙම කීවේය. “ඔහුව පක්ෂයෙන් ඉවත් කර නැහැ. තාවකාලිකව පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා. මාව නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධව අධිකරණයේ නඩුවක් තිබෙනවා.
තව කරුණු ගණනාවක් තිබෙනවා. ඒවායේ විස්තර මම කියන්න වැඩිය කැමැති නැහැ. එයාට කිසිම ප්‍රශ්නයක් නැතිව පක්ෂයට එන්න පුළුවන්. අපි භාර ගන්නවා. ලේකම් තනතුර හැර වෙනත් ඕනෑම තනතුරකට එයාව භාර ගන්නවා. සාමාජිකත්වය අත්හිටුවලා තිබෙනවා. එයා කරන අනම් මනම් වැඩ නවත්තලා අපිත් එක්ක එකඟතාවකට ඇවිත් ඒක ඕනෑම වෙලාවක අයින් කර ගන්න පුළුවන්“ යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කීවේය.
ස්වර්ණා විජේකෝන්