Home » කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අත්හැරදමන ලද පාර්සලයක එක් කෝටි හතළිස් ලක්ෂ අසූපන් දහසක මරිජුවානා පෙති තොගයක්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අත්හැරදමන ලද පාර්සලයක එක් කෝටි හතළිස් ලක්ෂ අසූපන් දහසක මරිජුවානා පෙති තොගයක්

by mahesh
September 6, 2023 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී. කපිල

රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂ අසූ පන් දහසක් වටිනා මරිජුවානා සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය පෙති තොගයක් , කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අත් හැර දමන ලද පාර්සල් තුළ තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් 09/05 දින සවස සොයා ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

අමෙරිකාව , එක්සත් රාජධානිය සහ කැනඩාව යන රට වලින් ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වන පුද්ගලයන්ගේ ව්‍යාජ ලිපිනයන් වෙත ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ අතර ඒවා භාර ගැනීමට මේ වනතෙක් කිසිදු පුද්ගලයෙකු ඉදිරිපත් වී නොතිබිණි .

එනිසා මෙම පාර්සල් තැපැල් දෙපාර්තමේන්තු , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉදිරිපිට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් 09/05 විවෘත කර තිබූ අතර ඒවා තුළ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 406 ක් බර මරිජුවානා සහ කෘතිම මත්ද්‍රව්‍ය පෙති තොගයක් තිබී සොයා ගෙන තිබුණි .

මෙම මත්ද්‍රව්‍ය තොගය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

2023 වසරේ මේ වනවිට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව තුළින් පමණක් රුපියල් අට කෝටි හැට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT