Monday, April 21, 2025
Home » නින්ජා වෙසින් ගෙට පැන්න පොඩි බෝලෙට නිවැසියන්ගෙන් නින්ජා ප්‍රහාරයක්

නින්ජා වෙසින් ගෙට පැන්න පොඩි බෝලෙට නිවැසියන්ගෙන් නින්ජා ප්‍රහාරයක්

by mahesh
September 6, 2023 1:00 am 0 comment

කොට්ටාව ප්‍රදීප් කුමාර මීගොඩ බී. කේ. කත්‍රි ආරච්චි

නින්ජා වෙසින් නිවෙසක් කොල්ලකෑමට පැමිණ අඹුසැමි යුවළකට හා අවුරුදු දෙකක් වයසැති දියණියකට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා පහර දී පලා යාමට තැත් කළ පුද්ගලයකු අල්ලාගෙන ඔහු රැගෙන ආ තියුණු ආයුධයෙන්ම නිවෙස් හිමියා කළ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කොල්ලකරු හෝමාගම මූලික රෝහලට පෙරේදා (04) ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

පහරකෑමෙන් තුවාල ලැබූ කොල්ලකරු ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම සිදුවීම පෞද්ගලික ආයතනයක අලෙවි විධායක නිලධාරියකුට අයත් හෝමාගම පිටිපන ගුණවර්ධන මාවතේ නිවෙසක පෙරේදා (04) අලුයම සිදුව තිබූ අතර නින්ජා වෙස්ගත් සැකකරු මන්නයක් අතැතිව මෙම නිවස කොල්ලකෑමට පැමිණ තිබේ. එම අවස්ථාවේදී ඒ බව දුටු නිවෙස් හිමියා ඔහු අල්ලා ගැනීමට යාමේදී ඔහුට මන්නයකින් කෙටීමට සැකකරු උත්සාහ කර තිබේ.

පසුව ඔහු සමඟ පොර බදන අවස්ථාවේ දී එම ස්ථානයට නිවෙස් හිමියාගේ බිරිය හා අවුරුදු දෙකක් වයසැති දියණියක ද පැමිණීමත් සමඟ ඔවුන් දෙදෙනාටද කොල්ලකරු මරණීය තර්ජනය කොට පහරදී තිබේ. පසුව බිරිය කොල්ලකරු අල්ලාගෙන ඔහු සමඟ පොරබදන අවස්ථාවේදී නිවෙස් හිමියා ක්ෂණිකව ක්‍රියාත්මක වී කොල්ලකරු අත තිබූ මන්නය උදුරාගෙන ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයකට පහර දී බි‍රිය බේරාගෙන ඇති බව පොලිසිය පවසයි. පහරකෑමෙන් කොල්ලකරුගේ දෑතට පාදවලට පිටට කැපුම් තුවාල සිදුවීම නිසා ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.

සිද්ධියෙන් නිවසේ අඹුසැමි යුවළට ද සුළු තුවාල සිදුව තිබේ.

සිද්ධිය වන අවස්ථාවේදී නිවසේ ඉහළ මහලේ අඹුසැමි යුවළ හා නිවුන් දරු දෙදෙනා ද පහළ මහළේ බිරියගේ මව සහ තවත් දෙදෙනෙකු නිදා සිට ඇති අතර කොල්ලකරු ඉහළ මහලට ගොස් ඇත්තේ පඩිපෙළ අසල තිබූ දොර වසාගෙන බව පොලිසිය පවසයි.

පසුව සිද්ධිය වූ ස්ථානයට පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී මන්නයක් අතැතිව නින්ජා වෙසින් නිවසට ඇතුළු වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පොඩි බෝලේ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු බව අනාවරණය වී තිබේ. පසුව සැකකරු රැගෙන ආ මන්නය පොලිස් භාරයට ගෙන තුවාලකරු හෝමාගම රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

මේ හේතුවෙන් කොල්ලකරුට නිවසේ කිසිවක් සොරා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT