Home » එජාප 77 වැනි සංවත්සරය අද

එජාප 77 වැනි සංවත්සරය අද

by mahesh
September 6, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරය අදට (06) යෙදී තිබේ.

1946 සැප්තැම්බර් 06 වැනිදා කොළඹ ගිල්ෆ්‍රඩ් චන්ද්‍රවංකයෙහි පිහිටි පාම්කෝට් මන්දිරයේදී මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඇරඹිණි.

77 වැනි සංවත්සරයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණය කිරීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06) සිදු කිරීමට නියමිතය. පක්ෂය ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ආරම්භ කිරීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ පක්ෂය හා සම්බන්ධවීමට පාක්ෂිකයන්ට අවස්ථාව හිමිවනු ඇත.

පක්ෂ සංවත්සරය වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආගමික වතාවත් අද උදෑසන පැවැත්වේ.

පෙරවරු 7.30ට සර්වාගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පක්ෂයේ දිවංගත නායකයන්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර හා මල්දම් පැලඳවීමට ද නියමිතය.

එම අවස්ථාවට පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, සභාපති වජිර අබේවර්ධන සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, සිරිකොත විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහත්වරුන් ඇතුළු පක්ෂයේ සියලු නිලධාරීහු සහභාගි වෙති.

පක්ෂයේ සංවත්සර සැමරුම සහ සම්මේලනය මෙම 10 වැනිදා කොළඹ ලේක්හවුස් ඉදිරිපිට පැවැත්වීමට තීරණය කර තිබූ නමුත් රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට පක්ෂ බලධාරීහු තීරණය කළහ.

සැමරුම පැවැත්වෙන දිනය මෙම සිකුරාදා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT