තලංගම ලැගුම්හලකදී සුජාතා මුණසිංහ මානාභරණ නමැති මනෝ උපදේශකවරිය ඝාතනය කර ඇත්තේ ඇගේ සැමියා ලෙස පෙනී සිටි පුද්ගලයා බවට තහවුරු කෙරෙන තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබිණ.
කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි දුරකතන සන්නිවේදන කුලුනකට නැඟී මෙම මනෝ උපදේශකවරිය සමඟ විවාහ වීමට අවශ්‍ය යැයි කියා මීට වසර 10කට පමණ පෙර උපවාසයක නිරත වූයේ ද මෙම පුද්ගලයා බවට සැකකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එම සිදුවීමට අදාළ තොරතුරු ඔස්සේ මෙම සැකකරුව හඳුනා ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි.
යුද්ධය පැවති සමයේදී හමුදා කඳවුරුවලටත් පොලිස් ස්ථානවලටත් ගොස් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීමට යැයි සඳහන් කරමින් මනෝ උපදේශන කටයුතුවල නිරතව සිටි මනෝ උපදේශකවරියක මෙසේ තලංගම පිහිටි ලැගුම්හලකදී ඝාතනය වී තිබිණ.
ඇයව මරා දමා ඇත්තේ ඇය සමඟ එම කාමරයේ කාලය ගත කළ සැමියා යැයි සඳහන් පුද්ගලයා විසින් බව පොලිසිය කියයි. සැමියා යැයි හඳුන්වන පුද්ගලයා විසින් මෙම ඝාතනය තමන් විසින් කළ බව සඳහන් කරමින් ලියා ඇති පිටු පහක ලිපියක්ද පොලිසියට ඇයව ඝාතනය කර තිබුණු කාමරයේ තිබී හමු වී තිබිණි. එම ලිපිය කියවා බැලීමේදී එම පුද්ගලයා මානසික වියවුලකින් පෙළෙන්නකු බව පෙනී යන්නේ යැයි ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම ඝාතනය සිදු කිරීමෙන් පසු පලාගොස් සැඟව සිටින මෙම පුද්ගලයා විසින් තවත් ඝාතන සැලසුමක් ගැන පවා එම ලිපියෙහි සටහන් කර ඇති බවත් ඔහු සියදිවි හානි කරගන්නා බව පවා සටහන් කර තිබෙන බවත් එම නිලධාරියා කීය. ඒ ගැනත් විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.
ඝාතනය වූ කාන්තාවගේ සැබෑ අනන්‍යතාව සොයා විමර්ශන පැවැත්වෙන බවත් ඇගේ අනන්‍යතාව තහවුරු වන කිසිවක් එම කාමරයේ තිබී හමුනොවූ බවත් පොලිසිය කියයි.