Home » අන්තර්ජාල අපහාසයන්ට වැට බඳින නීති එයි
ආගමික වාර්ගික හැඟීම් පාරවන ළමා අපයෝජන ප්‍රවර්ධනය ඇතුළු

අන්තර්ජාල අපහාසයන්ට වැට බඳින නීති එයි

විනිශ්චය සඳහා පස් දෙනකුගෙන් යුත් කොමිසමක්

by mahesh
September 6, 2023 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම, අසත්‍ය ප්‍රකාශයක් මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම ඇතුළු කරුණු රැසක් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කරමින් සකස් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අවසරය හිමි වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන්, ආගම ආදිය ඉලක්ක කරගෙන සිදු කරන ක්‍රියාවන් 12ක් නීති සම්පාදක විසින් සකස් කර ඇති මෙම පනත් කෙටුම්පතේ වැරදි වශයෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව අසත්‍ය ප්‍රකාශයක් මඟින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම, ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම වැරදි ලෙස දක්වා තිබේ.

එමෙන්ම වංචා කිරීම, අනෙකකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම, සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතනාන්විතවම නින්දා කිරීම ද වැරදි ලෙස අර්ථ දක්වා තිබේ.

කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම, ළමා අපයෝජනය, වරදක් සිදු කිරීම සඳහා බොට් (bot) සෑදීම හෝ වෙනස් කිරීම ද වැරදි වශයෙන් හඳුන්වාදී තිබේ.

අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේෂසහගත හැසිරීම් මඟින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (05) පැවසීය.

අන්තර්ජාලය මඟින් අන්ත අසරණ නිරායුධ අවිහිසංක මිනිසුන්ට සිදුවන අගතීන් හා අතවරයන් සම්බන්ධයෙන් සාධාරණයක් හා පිළිසඳරක් ලබාගත හැකි වන අයුරින් මේ පනත් කෙටුම්පත අනුව පස්දෙනකුගෙන් කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට ද පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීවේය.

නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇති මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රියේ පළ කිරීමටත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මේ අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ද හෙතෙම කීවේය.

මෙම කැබිනට් යෝජනාව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT