එක්සත් ජාතික පක්ෂය 77 වැනි සංවත්සරය යෙදෙන මේ මොහොතේ, සැබෑ ලෙසම එජාපය මේ රට තුළ ස්ථාපිත කර ඇත්තේ කුමක්දැයි ඒ ගැන නොදන්නා බොහෝ දෙනකුට සිහිපත් කරලීම මගේ යුතුකමක් සේ මම සලකමි. නිදහසෙන් මෙපිට 90 දශකය වන තෙක්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ස්ථිරසාර ආර්ථික හා සමාජ වෙනස්කම් කුමක් වුවද, ඒවා එක්සත් ජාතික පක්ෂයේ නිර්මාණ බව ප්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවේ. කුමන විෂයයන් යටතේ වුවද එක්සත් ජාතික පක්ෂ රජයන් ගෙනගිය සංවර්ධන වැඩසටහන් මේ රටේ ඉදිරියටත් පිහිටුවනු ලබන ඕනෑම ආණ්ඩුවක මූලික පදනම සේ ක්‍රියා කරනු ඇති බව මේ පිළිබඳ හොඳින් විමසීමේදී පෙනී යයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, වාරිකර්මාන්තය, කර්මාන්ත සහ විදේශ සම්බන්ධතා ආදි සියලු විෂය පථයන් රට තුළ ස්ථාපිත කරනු ලැබුවේ එජාප රජයන් යන්න එක්සත් ජාතික පාක්ෂිකයකුට පමණක් නොව රටේ ඕනෑම පුරවැසියෙකුට පිළිගත හැකි කාරණයකි.
රටේ පළමු අග්‍රාමාත්‍යවරයා වශයෙන් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබුවේ ඩී.එස්. සේනානායක මහතාගේ පාලනය කාලය ආරම්භයත් සමඟය. 1933දී ඉඩම් හා කෘෂිකර්ම සංවර්ධන පනත ඉදිරිපත් කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ගැමි ජනතාවට ඉඩම් අයිතිය ලබා දුන්නේ ඩී.එස්. සේනානායක මහතාගේ දූරදර්ශී යෝජනාව බව සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාව නැවතත් පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කිරීමේ අරමුණෙන් යුතුව, ආරම්භ කළ වාරි සංවර්ධන හා කෘෂිකාර්මික සංවර්ධනය හේතුවෙන්, ඉංග්‍රීසි පාලන සමයේදී ඝන කැලෑ බවට පත්ව තිබූ ඉඩම් සරුසාර වෙල් යායවල් බවට පත් කිරීමට එතුමාගේ මේ සංකල්පයට හැකි විය. ගිරිතලේ වැව, හුරුළු වැව, පරාක්‍රම සමුද්‍රය සංවර්ධනය කිරීම, සේනානායක සමුද්‍රය නිර්මාණය කිරීම සහ මිණිපේ, කාගම, හිඟුරක්ගොඩ, පදවිය සහ ඇළහැර සහ ගල්ඔය ගොවි ජනපද ඇති කිරීම තුළින් අදටත් පරම්පරා ගණනාවක් එම ව්‍යාපාරවල අසීමිත වටිනාකම් භුක්ති විඳිමින් සිටී.
අධ්‍යාපනය නොමිලයේ ලබා දීම ආරම්භ කරමින් සී.ඩබ.ඩබ්. කන්නන්ගර මහතාගේ මූලිකත්වයෙන් රට තුළ නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කිරීම, ඈත ගම් නියම් ගම්වල දරුවන්ට සමාජයේ ඉහළ තනතුරු කරා පැමිණෙන්නට දැමූ අත්තිවාරමක් සේ හැඳින්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇති කිරීම, මහා විද්‍යාල ආරම්භ කිරීම, අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත් දූරදර්ශී ක්රිායාමාර්ග ලෙස වර්තමානයේ ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට අස්වැසිල්ලක්ව පවතී. නිදහස් සෞඛ්‍ය සේවය, රත්මලාන ගුවන්තොටුපොළ, කොළඹ වරාය, වැනි සංවර්ධන යෝජනා නිසාම ජාතියේ පියා යන විරුදාවලිය ලබන්නට තරම් ඔහු වාසනාවන්ත විය.
ඩී.එස්.ගෙන් පසුව එළඹි ඔහුගේ දෙටු පුත් ඩඩ්ලි සේනානායක යුගය, කෘෂිකර්මාන්තයේ ප්‍රමනය මනාව සලකුණු කළ කාල පරිච්ඡේදයක් විය. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් සකස් කිරීම, කෘෂි ජනපද පිහිටුවා විවිධ කෘෂි යෝජනා ක්‍රම හඳුන්වා දීම, තරුණ ගොවි බළකායක් ඇති කිරීම, කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත් තීරණාත්මක තීන්දු බවට පත් විය. ප්‍රථම වරට දුප්පතුන් සඳහා නොමිලේ සහල් සහනාධාරයක් දෙමින්, තරුණයන් වෙනුවෙන් පළමු වැනි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ගොවි හමුදාවක් නිර්මාණය කිරීම ඒ කාල පරිච්ඡේදයේ ගත් ප්‍රශංසනාත්මක පරිවර්තනීය වැඩසටහන් බව සඳහන් කළ යුතු වේ. හෙක්ටයාරකින් ලැබෙන වී අස්වැන්නේ ප්‍රමාණය ලෝකයේ වාර්තාගත ඉහළම ප්‍රතිශතයක් දක්වා වර්ධනය කිරීමත්, හරිත විප්ලවය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත් ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කළ ඩඩ්ලිගේ පාලන කාලය තුළ සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමද ප්‍රගතිශීලී වැඩසටහනක් බවට පත් විය.
සර් ජෝන් කොතලාවල ආරම්භ කළ ලක්ෂපාන බලාගාරය, ජනතාවගේ විදුලි බල ව්‍යාප්තිය පුළුල් කිරීම කෙරේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව සඳහන් කළ යුතුය. එසේම රත්මලාන ගුවන් තොටුපොළ පුළුල් කිරීමත්, කොළඹ වරාය පුළුල් කිරීමත් ඔහු මූලිකත්වය දුන් ව්යා පෘති අතර විය. එසේම සර් ජෝන්ගේ විදේශ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව විදේශයන් කෙරේ විවෘත කිරීමට බොහෝ සෙයින් ඉවහල් වු බවද නොරහසකි. ඉන්දුනීසියාවේ පැවති බැංඩුං සම්මේලනයට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සටහන් කිරීමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාව ලැබීමත් අත් කරගත් ජයග්‍රහණ සේ සැලකිය හැකිය.
අන්ත පරාජයකට ලක් වූ එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් සමග නැවත රටේ පාලන බලය ලබාගැනීමට ජේ.ආර්.ජයවර්ධනගේ දේශපාලන ආගමනය පිටුවහලක් විය. ජේ.ආර්. ජයවර්ධන සමය විප්ලවීය කාල පරිච්ඡේදයක් විය. දකුණු ආසියාවේ ප්‍රථම වරට නිදහස් වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තිය නැතිනම් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිර්මාණය කරන්නේ ජේ.ආර්. ජයවර්ධනයි. අපනයන ප්‍රමුඛ කාර්මික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය මගින් කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම ප්‍රධාන වැඩසටහන් ලෙස හඳුන්වා දිය හැකියි. ඊට අමතරව දිවයිනේම විදුලි අවශ්‍යතාව සපුරාලීමට හැකි වික්ටෝරියා බලාගාරය සහ රන්දෙණිගල ව්‍යාපෘතිය වැනි මහා පරිමාණ ජල යෝජනා ක්‍රම ඇති වන්නේද ජේ.ආර්.ගේ දර්ශනයට අනුව බව කිව යුතුය. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අවස්ථා ඇති කළ බියගම අපනයන කලාප බිහි කිරීමත් ජාත්‍යන්තර වෙළෙඳාම දියුණු කිරීම සඳහා සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර දියුණුවක් ඇති කිරීමත් ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉදිරියෙන් ම විය. ජේ.ආර්.ගේ යුගයේ ඇතිකළ සංවර්ධන ව්‍යාපෘතීන් සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් මෙතෙකැයි කියා සඳහන් කිරීමට පවා නොහැකිය. ඔහුගේ උපදේශනය පරිදි ලලිත් ඇතුළත්මුදලි මහතා ආරම්භ කළ මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය වර්තමානයේ වුවද ශිෂ්‍ය ප්‍රජාවට අස්වැසිල්ලක් සැපයීම එහි ඇති සාර්ථකත්වය කියාපාන්නකි.
නොමිලේ පාසල් පොත්, නිල ඇඳුම්, දිවා ආහාරය, නව විශ්වවිද්‍යාල හා විවෘත විශ්වවිද්‍යාලය, ජාතික අධ්‍යාපන ආයතනය, කාර්මික අධ්‍යාපන ආයතන, අධ්‍යාපන විද්‍යා පීඨ ඉදිකිරීම තීරණාත්මක වැඩසටහන් බවට පත් විය. නව පාර්ලිමේන්තු සංකීර්ණය, ජාතික තරුණ සේවා සභාව, ජාතික රූපවාහිනිය ජපාන සහායෙන් මෙරටට හිමි විය. ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබන්නේ ජේආර් යුගයේදීය. රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමන්ගේ යුගයේ ඇඟලුම් කම්හල්, ජනසවිය, උදාගම් හා ගම්උදාව වැඩසටහන සුවිශේෂය.
අගමැති ධුරයේ පස් වතාවක් බලයට පත් වුවද විවිධ ජාතිවාදී සහ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපාරවල ගොදුරක් වූ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා මේ රටේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගෙන ගිය වැඩ වැඩපිළිවෙළ අදටත් බොහෝ වටිනාකම් නිර්මාණය කරන ඒවා බව සාක්ෂි දරයි. රට වැටුණු හැම මොහොතකම එය ඉදිරියට ගෙන ඒමට ඔහු දායක වුවත්, රටේ බහුතර දේශපාලකයන්ගේ ජනතාව මුළා කිරීමේ ඊනියා දේශපාලනය හේතුවෙන් රට ස්ථාවර කිරීමට ඔහුට තිබූ අවස්ථා කිහිපයක්ම මඟහැරී ගියේ රටේ අවාසනාවට බව තේරුම් ගත යුතු වේ. දැන් එළඹ තිබෙන්නේ ඔහුගේ දුරදක්නා නුවණ සහ ජාත්‍යන්තර සබඳතා මතින් නැවතත් රට පෙර තිබූ මට්ටමට ඔසවා තැබීමේ අවස්ථාවයි. බොරු සාටෝපවත ප්‍රකාශ වෙනුවට සැබෑවටම රට සංවර්ධනය කළ හැකි 2048 වෙනුවෙන් ස්ථිරසාර දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් නිර්මාණය කරන්නේද, ඔහුගේ දුරදක්නා ආර්ථික සැලසුම් ඒ තුළ ක්‍රියාත්මක කරන්නේද, රටට සැබෑ නිදහසක් අත් කර දිය යුතු නිසාය. විවිධ ජාවාරම්කරුවන්ගේ සහ ඊනියා දේශපාලන ව්‍යාපාරවලට මෙල්ල කරගත නොහැකි නායකයකු ලෙස ඉතා එඩිතරව රටේ නායකත්වය භාර ගැනීමෙන් ඔහු යන ඉදිරි ගමන ශ්‍රී ලාංකික ජනතාවගේ පැසසුමට ලක් වී හමාරය.
පක්ෂයේ 56 වැනි සම්මේලනයේදී එජාපය තම පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරමින් දේශපාලන බලය රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් සුදුසු පරිදි සියලු කණ්ඩායම්වල එකතුවකින් යුතුව නිර්මාණය කිරීම උදෙසා අවශ්‍ය සංශෝධන තම පක්ෂය තුළ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කර තිබේ. එජාපය යනු එවැනි එඩිතර තීරණ ගත හැකි රට ගැන හිතන පක්ෂයක් බව 56 වැනි සම්මේලනයේදී රටටම නිරූපණය වනු ඇත.
වර්තමාන ජනාධිපතිතුමන් මේ යන ගමන, මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ස්ථිරසාර ලෙස රට තුළ ස්ථාපිත කරන්නට ජනතාවගේ ආශීර්වාදය මේ මොහොතේ අවශ්‍යව පවතී. ඒ ආශීර්වාදය එකතු කරගනිමින්, මගේ පක්ෂයේ 77 වැනි සංවත්සරයට සහ 56 වැනි සම්මේලනයට මාගේ සුභාශිංශන මෙසේ එක් කර සිටිමි.