Home » කැබිනට් තීරණ

කැබිනට් තීරණ

by mahesh
September 6, 2023 1:00 am 0 comment

නුවන් කොඩිකාර

උසස් පෙළ තෙක් වෘත්තීය පාදක දැනුම

අ.පො.ස. (උසස් පෙළ) ඉගෙනුම අරඹන තෙක් සිසුන්ට සෑම අධ්‍යාපන කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තෝරාගත් පාසල් 320ක මාස 3 – 4ක කාලසීමාවක් සඳහා වෘත්තීය පාදක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත්, පසුව ඒ නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මත 2024 සිට එය ජාතික වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඉඩම් සංවර්ධනයේ භූමියක් විදුලියට

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි තවත් ඉඩම් කොටස් කිහිපයක් එකී ඉඩම් කොටස්වල පරවශ්‍යතා අයිතිය උප කල්බදු දීමේ අයිතියද සහිතව භූගත සිසිලන නළ මාර්ග සහ භූගත ඉන්ධන නළ මාර්ග ඉදි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය වෙත බදු පදනම මත දීමට නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නව රාජ්‍ය සබඳතා කිහිපයක්

කොමරෝස් සංගමය, සාඕ ටෝමේ හා ප්‍රින්සිපේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගැනීම පිණිස විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රැකියා විගමන ජාතික ප්‍රතිපත්තිය

රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම 2023-2027 ක්‍රියාත්මක කිරීමට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත

1972 අංක 7 දරන ගෙවල් කුලී පනත අවලංගු කිරීම සඳහා සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත නමින් නව පනතක් හඳුන්වා දීමට පනත් කෙටුම්පත් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ත්‍රස්ත විරෝධි පනත

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් ත්‍රස්ත විරෝධි පනත හඳුන්වා දීමට නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අපනයන කෘෂිකර්ම පනත සංශෝධනය

1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT