Home » මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ අභය භූමියේ මායිම් ලකුණු කිරීම ඇරඹුවා

මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ අභය භූමියේ මායිම් ලකුණු කිරීම ඇරඹුවා

නීතිපති අභියාචනාධිකරණයට දන්වයි

by mahesh
September 6, 2023 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂිත කලාපය සහ අභය භූමියට අයත් මායිම් භෞතිකව ලකුණු කිරීම ආරම්භ කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (05) දන්වා සිටියේය.

අදාළ මායිම් ලකුණු කර එම අභයභූමිය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය 2020 අප්‍රේල් 04 වැනිදා කළ නියෝගය අනුව බලධාරීන් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෝසමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ බව සඳහන් කළාය.

ලෆාර් තාහීර් සහ විකුම් කලුආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම මෝසම සහ ඊට අදාළ පෙත්සම කැඳවනු ලැබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ මෙම මායිම් ලකුණු කිරීම සිදු කර ඇති අතර භෞතිකව ඒවා සටහන් කිරීම ආරම්භ කර ඇති බවය.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මායිම් සලකුණු කිරීම පිළිබඳ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් නොවැම්බර් මස 8 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියම කළේය.

මෙම පෙත්සම නොවැම්බර් මස 8 වැනිදා නැවත කැඳවීමට තීරණය කෙරිණ.

මුතුරාජවෙල වගුරු ආශ්‍රිත බිම් පෙදෙස් පිරවීම සඳහා එම තෙත්බිමට අපද්‍රව්‍ය දැමීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, මුතුරාජවෙල ඇතුළු පාරිසරික වැදගත්කමකින් යුතු අනෙකුත් තෙත්බිම් ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාමය පියවර ගන්නා ලෙසට මධ්‍යම පරිසර අධිකාරි, පරිසර ඇමැතිවරයා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ඇතුළු බලධාරීන්ට නියෝග කරන ලෙසත් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්ඩාර, වනජීවී අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.සී වේරගොඩ, ගොවිජන සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක රෝහණ රාජපක්ෂ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වත්තල, මීගමුව හා ජා-ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන්, නීතිපති ඇතුළු 12 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

මුතුරාජවෙල තෙත් බිම, මුතුරාජවෙල කුඹුරු යාය, ඇළ මාර්ගය සහ වගුරු බිම්වලින් සමන්විත වන අතර අක්කර 635ක් ප්‍රමාණයක කුඹුරු යායකින් සමන්විත වන අතර, මෙම වගුරු බිමෙහි නීතිවිරෝධී ආකාරයට පස් යොදා වගුරු බිම ගොඩ කිරීම වසර ගණනාවක සිට සිදුවන බවත් සඳහන් කරන පෙත්සම මහා පරිමාණයෙන් සිදුවන මෙම නීතිවිරෝධී ව්‍යාපාරය හේතුවෙන් මෙහි ජලපෝෂක ප්‍රදේශය අහිමිව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව පෙන්වා දී තිබිණි.

පෞද්ගලික සමාගමක් මෙම තෙත්බිමේ අක්කර 50ක් නීතිවිරෝධී ලෙස පස් පිරවීම සඳහා ලබා ගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇති බවත් මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් මෙම පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ තත්ත්වයක් උදාවන බවත් පෙන්වා දී තිබිණි.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, මුතුරාජවෙල වගුරු ආශ්‍රිත බිම් පෙදෙස් පිරවීම සඳහා අපද්‍රව්‍ය දැමීම වළකාලන ලෙසට වගඋත්තරකරුවන්ට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT