පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව අනුව පූර්ණ වශයෙන් ක්‍රියා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන් මෙතෙක් අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කළහ.
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමට අදාළව මෙම මෝසම ඉදිරිපත් කෙරිණි.
නීතිඥ ශමිල් ජේ. පෙරේරා මහතා මගින් ඉදිරිපත් කර ඇති මෙම මෝසමේ සඳහන් වන්නේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් නොයෙක් පාර්ශ්වයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ බවය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනු කර තිබූ පෙත්සමේ 57 වන වගඋත්තරකරු ලෙස නම් කර සිටි කාදිනල් හිමියන් මීට අදාළ කරුණු ඒ ඒ අවස්ථාවලදී වාචිකව සහ ලිඛිතව නීතිඥවරුන් මගින් අධිකරණයට ඉදිරිපත් කළ බව එහි සඳහන් වේ.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව අදාළ නඩු තීන්දුව මෙම වසරේ ජනවාරි මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් බව මෝසමේ දැක්වේ.
එම තීන්දුව මගින් සිය පෞද්ගලික මුදලින් වන්දි ගෙවන ලෙස අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි කිහිප දෙනෙකුට නියම කෙරිණ.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 50ක් ද, ජාතික බුද්ධි හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා රුපියල් මිලියන 10 ද, වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියෝග කෙරිණ.
මෙම නියෝගය මාස හයක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙස නියම වූ අතර ඊට පහසුකම් සලසන ලෙස නීතිපතිවරයාට නියම කර තිබුණි. එසේම රාජ්‍ය බුද්ධි නිලන්ත ජයවර්ධන මහතාගේ රාජකාරිය පැහැර හැරීම සහ අසමත්භාවය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් නියම කර තිබුණ ද මෙතෙක් ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගත් බවක් දැන ගැනීමට නොමැති බවද එමගින් පෙන්වාදී තිබේ. එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර මේ වන විට මාස හයකට අධික කාලයක් ගතවී තිබුණද එම මුදල් පූර්ණ වශයෙන් ගෙවීමට වගඋත්තරකරුවන් මෙතෙක් කටයුතු කර නැති බවට කාදිනල් හිමිපාණන් සිය මෝසම මගින් චෝදනා කර සිටිති. මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස කාදිනල් හිමියන් මෝසම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.